සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

6. ඡට්ඨ වර්ගය

2. මල්ලක නිගම සූත්‍රය

[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල කප්පනම්වූ මල්ලයන්ගේ නියම් ගම වාසය කළ සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ඇමතූසේක. ‘මහණෙනි, යම්තාක් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ආර්‍ය්‍යඥානය නූපන්නේ වේද, ඒතාක් සතර ඉන්ද්‍රියයන්ගේ මනා පිහිටීමක් නොවෙයි. ඒතාක් සතර ඉන්ද්‍රියයන්ගේ පැවැත්මක් නොවෙන්නේයි

[2]“මහණෙනි, යම් කලෙක වනාහි ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ආර්‍ය්‍යඥානය උපන්නේ වෙයිද, එකල්හි සතර ඉන්ද්‍රියයන්ගේ මනා පිහිටීම වෙයි. එකල්හි සතර ඉන්ද්‍රියයන්ගේ පැවැත්ම වෙයි. මහණෙනි, යම්සේ කුළුගෙයක කොත (වහල් මුදුන) ඔසවන ලද්දේ නොවෙයිද? ඒතාක් ගොනැසුන්ගේ මනා පිහිටීම නොවෙයි. එතෙක් ගොනැසුන්ගේ පැවැත්ම නොවෙයි. මහණෙනි, යම් කලෙක වනාහි කුළුගෙයි කොත ඔසවන ලද්දේ වෙයිද, එකල්හි ගොනැසුන්ගේ මනා පිහිටීම වෙයි. එකල්හි ගොනැසුන්ගේ පැවැත්ම වෙයි.

“මහණෙනි එපරිද්දෙන් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ආර්‍ය්‍යඥානය නොඋපන්නේ වෙයිද, ඒ තාක් සතර ඉන්ද්‍රියයන්ගේ මනා පිහිටීම නොවෙයි. ඒ තාක් සතර ඉන්ද්‍රියයන්ගේ පැවැත්ම නොවෙයි.

“ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ආර්‍ය්‍යඥානය උපන්නේ වෙයිද, එකල්හි සතර ඉන්ද්‍රියයන්ගේ මනා පිහිටීම වෙයි. එකල්හි සතර ඉන්ද්‍රියයන්ගේ පැවැත්ම වෙයි. මහණෙනි යම්සේ කුළුගෙයක කොත (වහල් මුදුන) ඔසවන ලද්දේ නොවෙයිද, ඒ තාක් ගොනැසුන්ගේ මනා පිහිටීම නොවෙයි. එතෙක් ගොනැසුන්ගේ පැවැත්ම නොවෙයි. මහණෙනි, යම් කලෙක වනාහි කුළුගෙයි කොත ඔසවන ලද්දේ වෙයිද, එකල්හි ගොනැසුන්ගේ මනා පිහිටීම වෙයි. එකල්හි ගොනැසුන්ගේ පැවැත්ම වෙයි.

[3] “කවර සතරක්හුගේද යත් සද්ධින්ද්‍රිය විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, යන ඉන්ද්‍රියන්ගේය. මහණෙනි, ප්‍රඥාවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ඒ ප්‍රඥාවට අනුව සද්ධින්ද්‍රිය පිහිටයි. ඊට අනුව විරියින්ද්‍රිය පිහිටයි. ඊට අනුව සතින්ද්‍රිය පිහිටයි. ඊට අනුව සමාධින්ද්‍රිය පිහිටයි.”