සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
6. ඡට්ඨ වර්ගය
3. සෙඛපරියාය සූත්‍රය
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝොෂිතාරාමයෙහි වැඩ සිටි සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ඇමතූ සේක.
[2] “යම් ක්‍රමයකින් ශෛක්ෂ භික්ෂුව ශෛක්ෂභූමියේ සිටියේ මම ශෛක්ෂවෙමියි දන්නේද? අශෛක්ෂව භික්ෂුව අශෛක්ෂභූමියේ සිටියේ මම අශෛක්ෂ වෙමියි දන්නේද, මහණෙනි, එවැනි ක්‍රමයක් ඇත්තේද?
[3] “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන්වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.”
[4] “මහණෙනි, යම් ක්‍රමයකින් ශෛක්ෂ භික්ෂුව ශෛක්ෂ භූමියෙහි සිටියේ මම ශෛක්ෂ වෙමියි දන්නේද, අශෛක්ෂ භික්ෂුව අශෛක්ෂ භූමියෙහි සිටියේ මම අශෛක්ෂ වෙමියි දන්නේද, එවැනි ක්‍රමයක් ඇත
“මහණෙනි, යම් ක්‍රමයකින් ශෛක්ෂ භික්ෂුව ශෛක්ෂ භූමියේ සිටියේ මම ශෛක්ෂ වෙමියි දැනගනියිද, ඒ ක්‍රමය කවරේද? ශෛක්ෂ භික්ෂුතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනියිද, මේ දුකට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනියිද, මේ දුක්ඛ නිරොධයයයි තත්වූ පරිද්දෙන් දනියිද, මේ දුක නැති කිරීමේ මගයයි තත්වූ පරිද්දෙන් දනියිද,
[5] “මහණෙනි, යම් ක්‍රමයකින් ශෛක්ෂ භික්ෂුව ශෛක්ෂව භූමියේ සිටියේ මම ශෛක්ෂ වෙමියි දැනගනියිද, ඊට මෙයද ක්‍රමයක් වන්නේය.
“මහණෙනි, අනික් ක්‍රමයක්ද කියමි ‘යම්සේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ විද්‍යමානවූ සත්‍යවූ ධර්මයක් දෙශනා කරයිද. මෙයින් පිටත්හි එසේ දෙශනා කරන අන්‍ය ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඇත්තේදැයි’ මෙසේ කල්පනා කරයි.
“යම්සේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ විද්‍යමානවූ සත්‍යවූ ධර්මයක් දෙශනා කරන සේක්ද මෙයින් පිටත්හි එසේ දෙශනා කරන අන්‍ය ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැතැයි’ හෙතෙම දැනගනියි. යම් ක්‍රමයකින් ශෛක්ෂ භික්ෂු තෙම ශෛක්ෂ භූමියෙහි සිටියේ ‘මම ශෛක්ෂ වෙමියි’ දැන ගනියිද, මහණෙනි, ඊට මෙයද ක්‍රමයකි.
[6] “මහණෙනි, නැවත අනිකක්ද කියමි. ශෛක්ෂ භික්ෂු තෙම පඤ්චෙන්ද්‍රියයන් දැනගනියි. සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යනුයි.
යම් ස්වභාවයක් ඇත්තාවූ යමක් පරමකොට ඇත්තාවූ යම් බලයක් ඇත්තාවූ යම් පරියොසානයක් ඇත්තාවූ ඒ ඉන්ද්‍රියයන් කයින් ස්පර්ශ නොකොට වාසය කරයි. ප්‍රඥාවෙන් විනිවිද නොදකියි. ශෛක්ෂ භික්ෂුව යම් ක්‍රමයකින් ශෛක්ෂ භූමියේ සිටියේ ශෛක්ෂ වෙමියි දැනගනියිද, මහණෙනි, මෙයද ඊට ක්‍රමයකි.
[7] “මහණෙනි, අශෛක්ෂ භික්ෂුතෙම යම් ක්‍රමයකින් අශෛක්ෂ භූමියෙහි සිටියේ මම අශෛක්ෂ වෙමියි දැනගනියිද, මහණෙනි, ඒ ක්‍රමය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම පඤ්චෙන්ද්‍රියන් දැනගනියි. සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යනුයි.
යම් ස්වභාවයක් ඇත්තාවූ යමක් පරමකොට ඇත්තාවූ, යම් බලයක් ඇත්තාවූ, යම් අවසානයක් ඇත්තාවූ පඤ්ච ඉන්ද්‍රියයන් කයින්ද ස්පර්ශකොට වාසය කරයි. ප්‍රඥාවෙන්ද විනිවිද දකියි. අශෛක්ෂ භික්ෂූතෙම යම් ක්‍රමයකින් අශෛක්ෂ භූමියෙහි සිටියේ මම අශෛක්ෂ භූමියෙහි සිටියේ මම අශෛක්ෂ වෙමියි දැනගනියිද? මහණෙනි, මෙයද ඊට ක්‍රමයකි.
[8] “මහණෙනි, නැවත අනිකක් කියමි. අශෛක්ෂ භික්ෂු තෙම ෂඞ්ඉන්ද්‍රියයන් දැනගනියි. චක්ඛුන්ද්‍රිය, සොතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජිව්හින්ද්‍රිය, කායින්ද්‍රිය, මනින්ද්‍රිය යනුයි මේ ෂඩෙන්ද්‍රියයන් සියලු ආකාරයෙන් ඉතිරිනොවී නිරුද්ධවෙත්ද, අනික් ෂඩෙන්ද්‍රිය කෙනෙක් කිසි තැනක නූපදිතියි දැනගනියි. අශෛක්ෂ භික්ෂුතෙම යම් ක්‍රමයකින් අශෛක්ෂ භූමියෙහි සිටියේ මම අශෛක්ෂ වෙමියි දැනගනියිද මහණෙනි, මෙයද ඊට ක්‍රමයක් වෙයි.”