සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

7. බොධිපක්ඛිය වර්ගය

1. සංයොජන පහාණ සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] “මහණෙනි, මේ වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පඤ්චෙන්ද්‍රියෝ සංයොජනයන් පහකිරීම පිණිස පවතිත්.

[3] “කවර පසක්ද යත්? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යනුයි.

‘මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ, මේ පඤ්චෙන්ද්‍රියයෝ සංයෝජනයන් පහකිරීම පිණිස පවතිත්.”