සංයුත්තනිකායො
මහා වර්ගය
5. සම්මප්පධාන සංයුත්තය
1. ගංගාපෙය්‍යාල වර්ගය
1–12. පාචීන ආදී සූත්‍ර දොළහ
1. පාචීනනින්න සූත්‍රය.
[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක
[2] “මහණෙනි, මේ සම්මප්‍රධානයෝ සතරක් වෙත්. ඒ සතර කවරහුද? මහණෙනි මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍ය පටන්ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍ය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි.
[3] “නූපන් කුසල ධර්මයන්ගේ උපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍ය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නුමුළා බව පිණිස, බොහෝ බව පිණිස මහත් බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත දක්වයි. වෑයම් කරයි වීර්‍ය්‍යය පටන් ගනියි සිත ඔසවයි. උත්සාහ කරයි. මහණෙනි, මේ සතර සම්‍යක් ප්‍රධානයෝ යි.
[4] “මහණෙනි, යම්සේ ගංගා නදිය පෙරදිගට නැඹුරුද, පෙරදිගට නැමී පවතීද, පෙරදිගට හැරී පවතීද, මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙමේ සතර සම්‍යක් ප්‍රධානයන් වඩන්නේ සතර සම්‍යක් ප්‍රධානයන් බහුල කරන්නේ නිර්වාණයට නැමුණේද නිර්වාණයට හැරුණේද නිර්වාණයට බරවූයේද වෙයි
[5] “මහණෙනි, සතර සම්මප්පධානයන් වඩන්නාවූ බහුල කරන්නාවූ මහණතෙමේ කෙසේ නම් නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වෙයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත දක්වයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කැමැත්ත දක්වයි. වෑයම් කරයි. වීර්‍ය්‍ය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි.
[6] නූපන් කුසල ධර්මයන්ගේ උපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍ය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නුමුළා බව පිණිස බොහෝ බව පිණිස මහත් බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත දක්වයි. වෑයම් කරයි. වීර්‍ය්‍ය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි.
[7] ‘මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ සතර සම්‍යක් ප්‍රධානයන් වඩන්නාවූ සතර සම්‍යක් ප්‍රධානයන් බහුල කරන්නාවූ මහණතෙමේ නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වෙයි.
2-12.
(ගංගා පෙය්‍යාලයේ ඉතිරි සූත්‍ර එකොළොසද සම්මප්පදාන වශයෙන් මෙසේ වෙනස්කොට ගත්කළ සම්පූර්ණ වේ.)
ගඞ්ගාපෙය්‍යාලවග්ගො පඨමො.