සංයුත්තනිකායො
මහා වර්ගය
7. ඉද්ධිපාද සංයුත්තය
3. අයොගුළ වර්ගය
1. ඉද්ධිපාද මග්ග සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනියි’ කිය ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, චතුස්සත්‍ය අවබොධ කිරීමට පළමුවම බුදු නොවූ බොධිසත්වවූ මට මෙසේ සිතක් ඇතිවිය. ‘ඉද්ධිපාදයන් වැඩීම පිණිස පවත්නා මාර්ගය කවරේද ප්‍රතිපදාව කුමක්ද?’ කියායි. මහණෙනි, ඒ මට මෙසේ අදහස් ඇති විය. ‘මේ සාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මෙසේ මාගේ වීමංසය ඉතා හැකුළුණේ නොවන්නේය. ඉතා එසවුණේ නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත්හි විසිර ගියේත් නොවන්නේය. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද පෙර මෙන් පසු සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය. යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද සමානව වාසය කරන්නේය. දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද මෙසේ විවෘතවූ නොවැසුනු සිතින් ආලොක සහිත සිත වඩයි’
“මහණෙනි, මහණතෙම සතර ඉද්ධිපාදයන් මෙසේ වැඩූ කල්හි බහුල වශයෙන් වැඩූ කල්හි නොයෙක් ඉද්ධි කොටස් අනුභව කරයි. එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම් සේද එසේ ප්‍රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියෙකු මෙන් පර්‍ය්‍යංකයෙන් ගියාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව කයින් වසඟ බව පැවැත්වූවාහුය.
“මහණෙනි, මහණතෙම සතර ඉද්ධිපාදයන් මෙසේ වැඩූ කල්හි බහුල වසයෙන් වැඩූ කල්හි ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ තෙමේ විශෙෂ නුවණින් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරයි.”