සංයුත්තනිකායො

මහා වර්ගය

7. ඉද්ධිපාද සංයුත්තය

2. පාසාද කම්පන වර්ගය

10. ඉද්ධිපාද විභංග සූත්‍රය

(මේ ඡෙදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡෙදය මෙනි.)

“මහණෙනි, වඩන ලද බහුල කරනලද මේ සතර ඉද්ධිපාදයෝ මහත්ඵල ඇත්තාහු මහත් ආනිශංසය ඇත්තාහු වෙත්. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ සතර ඉද්ධිපාදයෝ මහත් ඵල ඇත්තාහු මහානිසංසය ඇත්තාහු වෙත්ද?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මෙසේ මාගේ ඡන්දය අතිශයින් නොහැකුලුණේ නොවන්නේය. අතිශයින් එසවුණේ නොවන්නේය. ඇතුළත හැකුළුණේ නොවන්නේය. පිටත විසිරගියේ නොවන්නේය.’ පෙර පසු එක හා සමාන සංඥා ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද යටිකයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද දවල්මෙන් රෑද රෑමෙන් දවල්ද මෙසේ විවෘතවූ නොවැසුනු සිතින් බැබලීම් සහිත සිත වඩයිද,

“විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධානවීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මෙසේ මාගේ විරිය අතිශයින් නොහැකුළුණේ නොවන්නේය. අතිශයින් එසවුණේ නොවන්නේය. ඇතුළත හැකුළුනේ නොවන්නේය. පිටත විසිරගියේ නොවන්නේය’ පෙර පසු එක හා සමාන සංඥා ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද යටිකයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද දවල් මෙන් රෑද රෑමෙන් දවල්ද මෙසේ විවෘතවූ නොවැසුනු සිතින් බැබලීම් සහිත සිත වඩයිද,

“සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදයවඩයි. කෙසේද? ‘මෙසේ මාගේ සිත අතිශයින් නොහැකුළුණේ නොවන්නේය. අතිශයින් එසවුණේ නොවන්නේය. ඇතුළත හැකුළුණක් මෙන් නොවන්නේය. පිටත විසිරිගියේ නොවන්නේය,’ පෙර පසු එක හා සමාන සංඥා ඇතිව වාසය කරයි. පෙරමෙන් පසුවද පසුවමෙන් පෙරද යටිකයෙහි මෙන් උඩුකයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද දවල් මෙන් රෑද රෑමෙන් දවල්ද මෙසේ විවෘතවූ නොවැසුනු සිතින් බැබලීම් සහිත සිත වඩයිද,

“වීමංසයන් අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි, කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීමංසය අතිශයින් හැකුළුණේ නොවන්නේය. අතිශයින් එසවුනේ නොවන්නේය. අධ්‍යාත්මයෙහි හැකුලුනේ නොවන්නේ පිට විසිරගියේ නොවන්නේය.’ පෙර පසු එක හා සමාන සංඥා ඇතිව වාසය කරයි. පෙරමෙන් පසුවද පසුවමෙන් පෙරද යටිකයෙහි මෙන් උඩුකයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද මෙසේ විවෘතවූ නොවැසුනු සිතින් බැබලීම් සහිත සිත වඩයි.

“මහණෙනි, ඉතා හැකුළුණාවූ ඡන්දය නම් කවරේද? මහණෙනි, යම් ඡන්දයක් කුසීත බව සමග එක්වූයේ වේද? කුසීත බව සමග යෙදුණේ වේද, මහණෙනි, මෙය ඉතා හැකුළුණාවූ ඡන්දයයි කියනු ලැබේ.

“මහණෙනි, ඉතා එසවුණාවූ ඡන්දය නම් කවරේද? මහණෙනි, යම් ඡන්දයක් උද්ධච්චය හා එක්වූයේවේද, උද්ධච්චය සමග යෙදුණේ වේද, මහණෙනි, මෙය ඉතා එසවුණු ඡන්දය යයි කියනු ලැබේ.

“මහණෙනි, ඇතුළත හැකුළුණු ඡන්දය නම් කවරේද? මහණෙනි, යම් ඡන්දයක් ථීනමිද්ධය හා එක්වූයේ වේද, ථීනමිද්ධයෙන් යුක්තවූයේද, මහණෙනි, මෙය ඇතුළත හැකුළුණු ඡන්දයයි කියනු ලැබේ.

“මහණෙනි, පිටත්හි විසිරගිය ඡන්දය නම් කවරේද? මහණෙනි, යම් ඡන්දයක් පඤ්චකාම ගුණයන් අරබයා පිටත්හි වික්ෂිප්තවූයේ වෙයිද, විසිරගියේ වෙයිද, මහණෙනි, මෙය පිටත්හි විසිරගිය ඡන්දයයි කියනු ලැබේ.

“මහණෙනි, මහණතෙමේ කෙසේනම් පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, මෙසේ පෙර පසු දෙක්හි සමාන හැඟීම් ඇතිව වාසය කරයිද, මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විසින් රහත්වීමට පසුවද පෙරද සඤ්ඤාව නුවණින් මනාකොට ගන්නා ලද්දේද, මනාකොට මෙනෙහි කරන ලද්දේද, මනාකොට දරන ලද්දේද, මනාකොට අවබොධ කරන ලද්දේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද පෙර පසු දෙක්හි සමාන සංඥාව ඇතිව වාසය කරයි.

“මහණෙනි, මහණතෙම කෙසේනම් යටි කයෙහි මෙන් උඩු කයෙහිද, උඩුකයෙහි මෙන් යටිකයෙහිද, සමානව වාසය කරයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මේ සිරුරෙහි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩුව, හදවත, අක්මාව, දළබුව, බඩදිව, පපුමස, බඩවැල, කුඩා බඩවැල, නොපැසුණු ආහාර, මල, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මෙදතෙල්, කඳුලු, වුරුණුතෙල්, කෙල, සොටු, සෑමිදුළු, මුත්‍ර, ඇත්තේයයි පාතලයෙන් උඩද, කෙසාන්තයෙන් යටද, සමින් වටවූද මේ ශරීරය නොයෙක් අසුචියෙන් පිරුණේයයි නුවණින් මෙනෙහි කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම යටිකයෙහි මෙන් උඩුකයෙහිද, උඩුකයෙහි මෙන් යටිකයෙහිද, සමානව වාසය කරයි.

“මහණෙනි, මහණතෙම කෙසේ නම් දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද සමානව වාසය කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් දවල් කාලයෙහි ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, හෙතෙම ඒ ආකාරයෙන් ඒ සටහණින් ඒ නිමිත්තෙන් රාත්‍රියෙහිද, ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, රාත්‍රියෙහි යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, හෙතෙම ඒ ආකාරයෙන් ඒ සටහණින් ඒ නිමිත්තෙන් දවල්ද, ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මහණෙනි, මහණතෙම මෙසේ වනාහි දවල් මෙන් රෑද රෑමෙන් දවල්ද සමානව වාසය කරයි.

“මහණෙනි, මහණතෙම කෙසේනම් නොවසන ලද විවෘතවූ සිතින් බැබලීම් සහිත සිත වඩයිද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විසින් ආලොක සඤ්ඤාව මනාකොට ගන්නා ලද්දේ වෙයිද, දවල්ය යන හැඟීම මනාකොට ඉවත ලද්දේ වෙයිද, මහණෙනි, මහණතෙම මෙසේ වනාහි නොවැසුණාවූ විවෘතවූ සිතින් ආලෝක සහිත සිත වඩයි.

“මහණෙනි, ඉතා හැකුළුණාවූ වීර්‍ය්‍යය කවරේද? මහණෙනි, යම් වීර්‍ය්‍යයක් කුසීත බව හා එක්වූයේද, කුසීත බව හා යෙදුණේද, මහණෙනි, මෙය ඉතා හැකුළුණු වීර්‍ය්‍යයයි කියනු ලැබේ.

“මහණෙනි, ඉතා ඔසවන ලද වීර්‍ය්‍ය කවරේද? මහණෙනි, යම් වීර්‍ය්‍යයක් උද්ධච්චය හා එක්වූයේද, උද්ධච්චය හා යෙදුණේද, මහණෙනි, මෙය ඉතා එසවුණු වීර්‍ය්‍යයයි කියනු ලැබේ.

“මහණෙනි, ඇතුළත හැකුළුණු වීර්‍ය්‍යය කවරේද? මහණෙනි, යම් වීර්‍ය්‍යයක් ථීනමිද්ධය හා එක්වූයේද ථීනමිද්ධයෙන් යුක්තද, මහණෙනි, මෙය ඇතුළත හැකුළුණු වීර්‍ය්‍යයයි කියනු ලැබේ.

“මහණෙනි, පිටත්හි විසිරගිය වීර්‍ය්‍යය කවරේද? මහණෙනි, යම් වීර්‍ය්‍යයක් බාහිර පඤ්චකාම ගුණයන් අරබයා වික්ෂිප්තවූයේද විසිරගියේ වේද, මහණෙනි, මේ පිටත්හි විසිර ගිය වීර්‍ය්‍යයයි කියනු ලැබේ.

“මහණෙනි, මහණතෙමේ කෙසේ නම් පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද මෙසේ පෙර පසු දෙක්හි සමාන හැඟීම් ඇතිව වාසය කරයිද, මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විසින් රහත්වීමට පසුවද පෙරද සඤ්ඤාව නුවණින් මනාකොට ගන්නා ලද්දේද, මනාකොට මෙනෙහි කරන ලද්දේද, මනාකොට දරන ලද්දේද, මනාකොට අවබොධ කරන ලද්දේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පෙර මෙන් පසුවද, පසුව මෙන් පෙරද පෙර පසු දෙක්හි සමාන සංඥාව ඇතිව වාසය කරයි.

“මහණෙනි, මහණතෙම කෙසේ නම් යටිකයෙහි මෙන් උඩුකයෙහිද, උඩුකයෙහි මෙන් යටිකයෙහිද සමානව වාසය කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මේ සිරුරෙහි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හදවත අක්මාව, දළබුව, බඩදිව, පපුමස බඩවැල, කුඩා බඩවැල, නොපැසුණු ආහාර, මල, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මෙද තෙල්, කඳුළු, වුරුණු තෙල්, කෙල, සොටු, සඳමිඳුළු, මූත්‍ර ඇත්තේය. පාතලයෙන් උඩද, කෙසාන්තයෙන් යටද සමින් වටවූද, මේ ශරීරය නොයෙක් අසුචියෙන් පිරුණේයයි නුවණින් මෙනෙහි කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම යටිකයෙහි මෙන් උඩුකයෙහිද උඩුකයෙහි මෙන් යටි කයෙහිද සමානව වාසය කරයි.

“මහණෙනි, මහණතෙම කෙසේනම් දවල් මෙන් රෑද රෑමෙන් දවල්ද සමානව වාසය කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් දවල් කාලයෙහි විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, හෙතෙම ඒ ආකාරයෙන් ඒ සටහණින් ඒ නිමිත්තෙන් රාත්‍රියෙහිද විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, රාත්‍රියෙහි යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, හෙතෙම ඒ ආකාරයෙන් ඒ සටහණින් ඒ නිමිත්තෙන් දවල්ද, විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මහණෙනි, මහණතෙම මෙසේ වනාහි දවල්මෙන් රෑද රෑමෙන් දවල්ද සමානව වාසය කරයි.

“මහණෙනි, මහණතෙම කෙසේ නම් නොවසන ලද විවෘතවූ සිතින් බැබලීම් සහිත සිත වඩයිද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විසින් ආලොක සඤ්ඤාව මනාකොට ගන්නා ලද්දේ වෙයිද, දවල්ය යන හැඟීම මනාකොට ඉවත ලද්දේ වෙයිද, මහණෙනි, මහණතෙම මෙසේ වනාහි නොවැසුනාවූ විවෘතවූ සිතින් ආලොකය සහිත සිත වඩයි.

“මහණෙනි, ඉතා හැකුළුණු සිත කවරේද? මහණෙනි, යම් සිතක් වනාහි කුසීතකම හා එක්වූයේද කුසීතකමින් යුක්තද, මහණෙනි, මේ ඉතා හැකුළුණු චිත්තය යයි කියනු ලැබේ

“මහණෙනි, ඉතා ඔසවන ලද සිත කවරේද? මහණෙනි, යම් සිතක් උද්ධච්චය හා එක්වූයේද උද්ධච්චයෙන් යුක්තද මහණෙනි, මේ ඉතා ඔසවන ලද සිතයයි කියනු ලැබේ.

“මහණෙනි, අධ්‍යාත්මයෙහි හැකුළුණු සිත කවරේද? මහණෙනි, යම් සිතක් ථීන මිද්ධය හා එක්වූයේද ථීන මිද්ධයෙන් යුක්තද, මහණෙනි, මේ අධ්‍යාත්මයෙහි හැකුළුණු සිතයයි කියනු ලැබේ.

මහණෙනි, පිටත්හි විසිර ගිය සිත කවරේද? මහණෙනි, යම් සිතක් බාහිර පඤ්චකාම ගුණයන් අරබයා වික්ෂිප්ත වූයේ (විසිර ගියේ) වෙයිද, මහණෙනි, මේ පිටත්හි විසිර ගිය සිතයයි කියනු ලැබේ.

“මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද මෙසේ පෙර පසු දෙක්හි සමාන හැඟීම් ඇතිව වාසය කරයිද, මහණෙනි, මේ සාසනයෙහි භික්ෂුව විසින් රහත් වීමට පසුවද පෙරද සඤ්ඤාව නුවණින් මනා කොට ගන්නා ලද්දේද මනාකොට මෙනෙහි කරන ලද්දේද, මනාකොට දරන ලද්දේද, මනාකොට අවබොධ කරන ලද්දේද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, පෙර පසු දෙක්හි සමාන සංඥාව ඇතිව වාසය කරයි.

“මහණෙනි, මහණතෙම කෙසේ නම් යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද සමානව වාසය කරයිද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම මේ සිරුරෙහි කෙස්, ලොම්, නිය දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිඳුළු, වකුගඩුව, හදවත, අක්මාව, දළබුව, බඩදිව, පපු මස, බඩවැල, කුඩා බඩවැල, නොපැසුණු ආහාර, මල, පිත සෙම, සැරව, ලේ, ඩහදිය මෙදතෙල්, කඳුලු, වුරුණු තෙල්, කෙල, සොටු, සදමිඳුළු මුත්‍ර, ඇත්තේයයි පාතලයෙන් උඩද කෙසාන්තයෙන් යටද සමින් වටවූද මේ ශරීරය නොයෙක් අසුචියෙන් පිරුණේයයි නුවනින් මෙනෙහි කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද සමානව වාසය කරයි.

“මහණෙනි, මහණ තෙම කෙසේ නම් දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද සමානව වාසය කරයිද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් දවල් කාලයෙහි සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද හෙතෙම ඒ ආකාරයෙන් ඒ සටහණින් ඒ නිමිත්තෙන් රාත්‍රියෙහිද සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, රාත්‍රියෙහි යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, හෙතෙම ඒ ආකාරයෙන් ඒ සටහණින් ඒ නිමිත්තෙන් දවල්ද, සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මහණෙනි, මහණතෙම මෙසේ වනාහි දවල් මෙන් රෑ මෙන් දවල්ද සමානව වාසය කරයි.

“මහණෙනි, මහණතෙම කෙසේ නම් නොවසන ලද විවෘතවූ සිතින් බැබලීම් සහිත සිත වඩයිද? මහණෙනි, මේ සාසනයෙහි භික්ෂුව විසින් ආලොක සඤ්ඤාව මනාකොට ගන්නා ලද්දේ වෙයිද, දවල්ය යන හැඟීම මනාකොට ඉවත ලද්දේ වෙයිද, මහණෙනි, මහණතෙම මෙසේ වනාහි නොවැසුනාවූ විවෘතවූ සිතින් ආලොක සහිත සිත වඩයි.

“මහණෙනි, ඉතා හැකුළුණු වීමංසය නම් කවරේද? මහණෙනි යම් වීමංසයක් කුසීත බව හා එක්වූයේද කම්මැලිකමින් යුක්තද, මහණෙනි, මේ ඉතා හැකුළුණු වීමංසයයයි කියනු ලැබේ.

“මහණෙනි, ඉතා ඔසවන ලද වීමංසය නම් කවරේද? මහණෙනි, යම් වීමංසයක් උද්ධච්චය හා එක්වූයේද, උද්ධච්චයෙන් යුක්ත වූයේද, මහණෙනි, මේ ඉතා ඔසවන ලද වීමංසයයි කියනු ලැබේ.

“මහණෙනි, ඇතුළත හැකුළුණු වීමංසය නම් කවරේද? මහණෙනි, යම් වීමංසයක් ථීනමිද්ධය හා එක්වූයේද ථීනමිද්ධයෙන් යුක්ත වූයේද, මහණෙනි, මේ ඇතුළත හැකුළුණු වීමංසය යයි කියනු ලැබේ.

“මහණෙනි, පිටත්හි විසිර ගිය වීමංසය නම් කවරේද? මහණෙනි, යම් වීමංසයක් බාහිර පඤ්චකාම ගුණයන් අරබයා වික්ෂිප්ත වූයේ වෙයිද විසිරගියේ වෙයිද මහණෙනි මේ පිටත්හි විසිරගිය වීමංසය යයි කියනු ලැබේ.

“මහණෙනි, මහණ තෙමේ පෙර මෙන් පසුද පසුව මෙන් පෙරද පෙර පසු එක හා සමාන සඤ්ඤාවෙන් වාසය කරයිද, මහණෙනි, මේ සාසනයෙහි භික්ෂුව විසින් රහත්වීමට පසුද පෙරද සඤ්ඤාව නුවණින් මනාකොට ගන්නා ලද්දේද, මනාකොට මෙනෙහි කරන ලද්දේද, මනාකොට දරන ලද්දේද, මනාකොට අවබොධය කරන ලද්දේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ පෙර මෙන් පසුද පසුව මෙන් පෙරද, පෙර පසු සමාන සඤ්ඤාවෙන් වාසය කරයි.

“මහණෙනි, මහණතෙමේ යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද සමානව කෙසේ වාසය කරයිද? මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම මේ සිරුරෙහි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිඳුළු, වකුගඩුව-හදවත අක්මාව, දළබුව, බඩදිව, පපු මස, බඩවැල-කුඩා බඩවැල නොපැසුණු ආහාර, මල, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මෙදතෙල්, කඳුලු, වුරුණු තෙල්, කෙල, සොටු, සඳමිදුලු, මුත්‍ර, ඇතැයි මහණ තෙම පාතලයෙන් උඩද කෙසාන්තයෙන් යටද සමින් වටවූ මේ සිරුර නොයෙක් අසුචියෙන් පිරුණේයයි සලකයි. මහණෙනි මෙසේ වනාහි මහණතෙම යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද වාසය කරයි.

“මහණෙනි, මහණ තෙම දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද කෙසේ වාසය කරයිද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් දවල් කාලයෙහි විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. හෙතෙම එම ආකාරයකින් ඒ සටහනින් ඒ නිමිත්තෙන් රාත්‍රියෙහිද වීමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් රාත්‍රියෙහි වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, හෙතෙම ඒ ආකාරයෙන් ඒ සටහණින් ඒ නිමිත්තෙන් දවල් කාලයෙහිද වීමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි මෙසේ වනාහි මහණතෙමේ දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද වාසය කරයි.

“මහණෙනි, විවෘතවූ නොවැසුනු සිතින් ආලෝක සිත කෙසේ වඩයිද? මහණෙනි, මේ සාසනයෙහි භික්ෂුව විසින් ආලෝක සඤ්ඤාව මනාකොට ගන්නා ලද්දේ වෙයිද? දිවා සඤ්ඤාව මනාකොට ඉවත ලද්දේ වෙයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම නොවැසුනු විවෘතවූ සිතින් ආලෝක සහිත සිත වඩයි.

“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ සතර ඍද්ධිපාදයෝ මහත් ඵල ඇත්තාහු වෙත්. මහානිසංස ඇත්තාහු වෙත්. මහණෙනි, මෙසේ මහණ තෙම සතර ඉද්ධිපාදයන් මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කොට වැඩූ කල්හි නොයෙක් ඉද්ධි කොටස් අනුභව කරයි. එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම් සේද එසේ ප්‍රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට, පර්වතයෙන් ඔබට නොගැටී ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳීමින් ගියාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්‍ය්‍යාංකයෙන් ගියාහුය. මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹ ලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය.

“මහණෙනි, මෙසේ මහණ තෙමේ සතර ඉද්ධිපාදයන් වැඩූ කල්හි බහුලකොට වැඩූ කල්හි ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව මේ අත්බැව්හිම තෙමේ මනා නුවණින් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේයයි” වදාළේය.

දෙවෙනි පාසාද කම්පන වර්ගය නිමි.