සංයුත්තනිකායො

මහා වර්ගය

7. ඉද්ධිපාද සංයුත්තය

3. අයොගුළ වර්ගය

10. භික්ඛු සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.

එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ මහණෙනි, ඉද්ධිය යනු කවරේද? ඉද්ධිපාදය කවරේද? ඉද්ධිපාද වැඩීම කවරේද? ඉද්ධිපාද වැඩීමට පැමිණෙන ප්‍රතිපදාව කවරේද?” යනුයි.

“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන්වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන්වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන්වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.”

“මහණෙනි, ඉද්ධිය කවරේද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම නොයෙක් ඉද්ධි කොටස් අනුභව කරයිද එකෙක්ව බොහෝදෙනෙක් වූහ. බොහෝදෙනෙක් එකෙක් විය. අහසෙහි යම්සේද එසේ ප්‍රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් ගිලීම් මතුවීම් පොළොවෙහි කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්‍ය්‍යාංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. මහණෙනි, මේ ඉද්ධියයයි කියනු ලැබේ.

“මහණෙනි, ඉද්ධිපාදය කවරේද? මහණෙනි, ඉද්ධිපාදයන්ගේ වැඩීම පිණිස ඉද්ධිපාදයන් ලැබීම පිණිස යම් මාර්ගයක් යම් ප්‍රතිපදාවක් පවතියිද, මහණෙනි, මේ ඉද්ධිපාදයයි කියනු ලැබේ.

“මහණෙනි, ඉද්ධිපාදයන්ගේ වැඩීම කවරේද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මහණෙනි, මේ ඉද්ධිපාදයන්ගේ වැඩීමයයි කියනු ලැබේ.

“මහණෙනි, ඉද්ධිපාදයන්ගේ වැඩීමට පැමිණෙන ප්‍රතිපදාව කවරීද? මේ ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගයමැයි. ඒ කවරේදයත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් කල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ආජීවය, සම්‍යක් සතිය, සම්‍යක්සමාධිය යනුයි. මහණෙනි, මේ ඉද්ධිපාදයන්ගේ වැඩීමට පැමිණෙන ප්‍රතිපදාවයයි කියනු ලැබේ.”