සංයුත්තනිකායො

මහා වර්ගය

7. ඉද්ධිපාද සංයුත්තය

3. අයොගුළ වර්ගය

11. මහිද්ධික මොග්ගල්ලාන සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] ‘මහණෙනි, ඒ කුමකැයි සිතව්ද, කවර ධර්මයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂු තෙම මෙසේ මහත් ඉද්ධි ඇත්තේ මහත් ආනුභාව ඇත්තේ වෙයිද?

[3] “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන්වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන්වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.”

[4] “මහණෙනි, සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂුව මෙසේ මහත් ඍද්ධි ඇත්තෙක් මහත් ආනුභාව ඇත්තෙක් වෙයි.

[5] “කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මොග්ගල්ලාන භික්ෂුව ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩන්නේය. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ ඡන්දය ඉතා හැකුළුණේ නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත විසිර ගියේත් නොවන්නේය. රහත්වීමට පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, ශරීරයෙහි යට මෙන් උඩද උඩ මෙන් යටද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවැසූ විවෘතකළ සිතින් බැබලීම් සහිත සිත වඩයි.

[6] “වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීර්‍ය්‍යය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත විසිර ගියේත් නොවන්නේය. පෙර පසු දෙක්හිම එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරයි. පළමු මෙන්ම පසුවත් පසුව මෙන්ම පෙරත් ශරීරයෙහි උඩ මෙන්ම යටත් යට මෙන්ම උඩත්, දවල් මෙන් රෑත් රෑ මෙන් දවල්හිත්, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ විවෘතවූ නොවැසූ සිතින් බැබලීම් සහිත සිතක් වඩයි.

[7] “චිත්තය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ සිත ඉතා හැකුළුණේද නොවන්නේය. ඉතා එසවුණේද නොවන්නේය. ඇතුළත හැකුළුණේද නොවන්නේය. පිටත්හි විසිර ගියේද නොවන්නේය. පෙර හා පසුව එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, යටිකය මෙන් උඩු කයද උඩු කය මෙන් යටිකයද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, එකහා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවසන ලද විවෘත කළ සිතින් බැබලීම් සහිත සිත වඩයි.

[8] “වීමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීමංසය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත්හි විසිර ගියේත් නොවන්නේය. පෙර පසු සමාන හැඟීම් ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවසනලද විවෘතවූ සිතින් බැබලීම් සහිත සිත වඩයි.

[9] “මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහා මොග්ගල්ලාන භික්ෂුව මෙසේ නොයෙක් ඉද්ධි කොටස් අනුභව කරයි. එක් කෙනෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්ව එක්කෙනෙක්ද වේ. ප්‍රකට බවට මුවග බවට අහසෙහිමෙන් බිත්තියෙන් ඔබට පර්වතයෙන් ඔබට ප්‍රාකාරයෙන් ඔබට නොගැටී යයි. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් කිමිදීම් කරයි. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යයි. පක්ෂියෙකු මෙන් අහසෙහියේද, පර්‍ය්‍යංකයෙන් හිඳගෙන මහත් ඉද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරයි. පිරිමදියි. බ්‍රහ්මලෝක පවා කයින් වසඟ බවට පමුණුවයි.

[10] “මහණෙනි, මේ සතර ඍද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂුව ආශ්‍රවයන් නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියත් අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මභාවයෙහි තෙමේ විශෙෂ නුවණින් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නේයයි” වදාළේය.