සංයුත්තනිකායො

මහා වර්ගය

7. ඉද්ධිපාද සංයුත්තය

3. අයොගුළ වර්ගය

12. මහිද්ධික තථාගත සූත්‍රය

(මේ ඡෙදය මේ වර්ගයේ 11 සූත්‍රයේ 1 ඡෙදය මෙනි)

“මහණෙනි, එය කුමකැයි සිතව්ද? කවර ධර්මයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් තථාගතතෙම මෙසේ මහත් ඉද්ධි ඇත්තේ මහත් ආනුභාව ඇත්තේ වේද?

“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන්වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන්වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.”

“මහණෙනි, සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් තථාගත තෙම මෙසේ මහත් ඉර්ධි ඇත්තේ මහත් ආනුභාව ඇත්තේ වේ.

“කවර සතරක්ද යත්? මහණෙනි, මෙහි තථාගත තෙමේ ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩන්නේය. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ ඡන්දය ඉතා හැකුළුණේ නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත විසිර ගියේත් නොවන්නේය. පෙර මෙන් පසුවද, පසුව මෙන් පෙරද, ශරීරයෙහි යට මෙන් උඩද, උඩමෙන් යටද, දවල් මෙන් රෑද, රෑ මෙන් දවල්ද එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ විවෘත කළ සිතින් බැබලීම් සහිත සිත වඩයි.

“වීර්‍ය්‍යය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීර්‍ය්‍යය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත විසිරගියේත් නොවන්නේය. පෙර පසු දෙක්හිම එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරයි. පළමු මෙන් පසුවත් පසුව මෙන්ම පෙරත් ශරීරයෙහි උඩ මෙන් යටත් යට මෙන්ම උඩත්, දවල් මෙන්ම රෑත් රෑමෙන් දවල්හිත්, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ විවෘතවූ නොවැසූ සිතින් බැබලීම් සහිත සිත වඩයි.

“චිත්තය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ සිත ඉතා හැකුළුණේද නොවන්නේය. ඉතා එසවුණේද නොවන්නේය. ඇතුළත හැකුළුණේද නොවන්නේය. පිටත්හි විසිරගියේද නොවන්නේය. පෙර හා පසුව එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය. පෙර මෙන් පසුවද, පසුව මෙන් පෙරද, යටිකය මෙන් උඩු කයද උඩු කය මෙන් යටි කයද, දවල් මෙන් රෑද, රෑමෙන් දවල්ද, එකහා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවසන ලද විවෘතකළ සිතින් බැබලීම් සහිත සිත වඩයි.

“විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීමංසය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය පිටත්හි විසිර ගියේත් නොවන්නේය. පෙර පසු සමාන හැඟීම් ඇතිව වාසය කරයි. පෙරමෙන් පසුවද, පසුව මෙන් පෙරද, යටි කයෙහි මෙන් උඩුකයෙහිද, උඩු කයෙහි මෙන් යටි කයෙහිද, දවල් මෙන් රෑද, රෑ මෙන් දවල්ද, සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවසන ලද විවෘතවූ සිතින් බැබලීම් සහිත සිත වඩයි.

“මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් තථාගත තෙමේ මෙසේ මහත් ඉද්ධි ඇත්තේ මහත් ආනුභාව ඇත්තේ වේ. මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල කරනලද බැවින් නොයෙක් ඉර්ධි කොටස් අනුභව කරයි. එක් කෙනෙක්ව බොහෝ දෙනෙක් වෙත් බොහෝ දෙනෙක්ව එක් කෙනෙක් ද වේ ප්‍රකට බවට මුවහ බවට අහසෙහි මෙන් බිත්තියෙන් ඔබට පර්වතයෙන් ඔබට ප්‍රාකාරයෙන් ඔබට නොගැටී යයි. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් කිමිදීම් කරයි පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යයි. පක්ෂියෙකු මෙන් අහසෙහි යේද, පර්‍ය්‍යංකයෙන් හිඳගෙන මහත් ඉර්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරයි. පිරිමදියි. බ්‍රහ්මලෝක පවා කයින් වසඟ බවට පමුණුවයි.

“මහණෙනි, සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් තථාගත තෙමේ ආශ්‍රවයන් නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියෙන් අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශෙෂ නුවණින් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේය.” (ෂඞ්අභිඥාවන්ට මෙසේ විස්තර කළ යුතුයි)

තුන්වෙනි අයොගුළ වර්ගය නිමි.