සංයුත්තනිකායො
මහා වර්ගය
7. ඉද්ධිපාද සංයුත්තය
1. චාපාල වර්ගය
5. ඉද්ධිප්පදෙස සූත්‍රය
“මහණෙනි, අතීතයෙහි ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ ඉද්ධිපදෙස (මාර්ග තුන හා ඵලතුන) ඉපදවූවාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඉපදවූහ. මහණෙනි, ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ අනාගත කාලයෙහි ඉද්ධිප්පදෙස (මාර්ගතුන හා ඵල තුන) උපදවන්නාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවන්නාහ.
“මහණෙනි, ඇතැම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ යම් කාලයෙහි ඉද්ධිප්පදේසයන් උපදවත්ද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවති.
“කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි.
“මහණෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අතීත කාලයෙහි ඉද්ධිපාදයන් ඉපදවූහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඉපදවූහ”