සංයුත්තනිකායො
මහා වර්ගය
9. ඣාන සංයුත්තය
5. ධ්‍යාන ඔඝ වර්ගය
1–10. ඔඝාදිසුත්තං
1-9. (මග්ග සංයුත්තයේ ඔඝවර්ගය මෙහිදී ධ්‍යාන වශයෙන් ගැනීමෙන් සූත්‍ර 9 සම්පූර්ණ වේ.)
10. උද්ධම්භාගිය සූත්‍රය.
(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ මෙනි)
“මහණෙනි, මේ උද්ධම්භාගීය සංයෝජන පසකි. කවර පසෙක්ද? රූපරාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිද්‍යාව යනුයි මහණෙනි, මේ පස උද්ධම්භාගිය සංයෝජනයෝයි. මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජන දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස පහකිරීම පිණිස සතර ධ්‍යානයෝ වැඩිය යුත්තාහ.
“කවර සතරක්දයත්, මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි, “විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුළත පැහැදීම් සහිත සිත එකඟ බව ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය දුරුකිරීමෙන් සිහි ඇතිව මනා නුවණ ඇතිව මධ්‍යස්ථව වාසය කෙරේ. ධ්‍යාන සුවයද කයින් මනාකොට විඳියි. මධ්‍යස්ථව සිහි ඇතිව සුවසේ වාසය කෙරේයයි, ආර්‍ය්‍යයෝ යමක් කියත්ද? ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. සුඛ දුක්ඛයන්ගේ ප්‍රහාණයෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙක පහකිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ඛාසතියෙන් පිරිසිදුවූ චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ සතර ධ්‍යානයෝයි.”
“මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගීය සංයෝජනයන් දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස ක්ෂයකිරීම පිණිස, පහකිරීම පිණිස මේ සතර ධ්‍යානයෝ වැඩිය යුත්තාහ” යනුයි.
ඔඝවග්ගො පඤ්චමො.
නවවැනි ඣාන සංයුත්තය නිමි.