සංයුත්තනිකායො
මහා වර්ගය
10. ආනාපාන සංයුත්තය
1. එකධම්ම වර්ගය
9. (වේසාලී) සත්ථා‘හරණ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කළසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නොයෙක් ආකාරයෙන් අසුභ කථාව දෙශනාකළ සේක. අසුභයෙහි ගුණ වදාළසේක. අසුභය වැඩීමෙහි ගුණ වදාළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ඇමතූ සේක.
“මහණෙනි, මම අඩමසක් විවේකව විසීමට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙනෙන්න එක් භික්ෂුවක් හැර අන්කිසිවෙකු මාවෙත නොපැමිණිය යුතුයයි” වදාළේය. ඒ භික්ෂූහු එසේය, ස්වාමීනියි” භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී පිණ්ඩපාතය
ගෙන යන භික්ෂුව හැර අන් කිසිවෙක් නොඑළඹෙයි.
එකල්හි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් අසුභ කථාව දේශනා කරන සේක. අසුභයෙහි ගුණ වදාරන්නාහ. අසුභය වැඩීමෙහි ගුණ ප්‍රකාශ කරන්නාහයි නොයෙක් ආකාරයෙන් පිළිකුල්වූ අසුභ භාවනාවෙහි යෙදී වාසය කරන්නාහු වෙත්. මේ කයෙහි පිළිකුල් කරන්නාවූ කලකිරෙන්නාවූ නොකැමැත්තාවූ ඔව්හු ආයුධයෙන් ගෙල කපාගෙන මැරෙන්නාහ. එක් දිනකට දසනමක්ද කපාගනිත් විසි නමක්ද කපා ගනිත්. තිස් නමක්ද කපා ගනිත්.
එකල්හි භාග්‍යවතුන්වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් විවේකයෙන් නැඟී සිටියේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූසේක. “කිමෙක්ද? ආනන්දය, භික්ෂුසංඝයා තුනීවූවාක් මෙන් පෙනේ.”
“ස්වාමීනි එසේය, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නොයෙක් ආකාරයෙන් අසුභ කථා දෙශනාකළ සේක. අසුභයෙහි ගුණ වදාළසේක. අසුභය වැඩීමෙහි ගුණ වදාළ සේක. ස්වාමීනි, ඒ භික්ෂූහුද භාග්‍යවතුන්වහන්සේ වනාහි නොයෙක් ආකාරයෙන් අසුභ කථාව දෙශනා කරන සේක. අසුභයෙහි ගුණ වදාරණ සේක. අසුභය වැඩීමෙහි ගුණ ප්‍රකාශ කරනසේකැයි නොයෙක් අයුරින් පිළිකුල්කළාවූ අසුභයන් වැඩීමෙහි යෙදී වාසය කරන්නාහු වෙත්. මේ කයෙහි කලකිරෙන්නාවූ පිළිකුල් කරන්නාවූ නොකැමැත්තාවූ ඒ භික්ෂූහු ආයුධයෙන් ගෙල කපාගෙන මැරෙන්නාහ. දිනකට දස නමක්ද, විසි නමක්ද, තිස් නමක්ද කපා ගනිති. භික්ෂූහු ස්වාමීනි, මේ භික්ෂූ සංඝයා යම්සේ දැනීමෙහි පිහිටත්ද, භාග්‍යවතුන්වහන්සේ එවැනි ක්‍රමයක් දෙශනාකරන වදාරන්නේ නම් මැනව” යනුයි.
“ආනන්දය, එසේනම් යම් පමණ භික්ෂූහු විශාලා මහනුවර ඇසුරුකොට වෙසෙත්ද, ඒ සියලු භික්ෂූහු උපස්ථාන ශාලාවට රැස්කරවයි” වදාළේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ “එසේය, ස්වාමීනියි” භාග්‍යවතුන්වහන්සේට උත්තර දී යම් පමණ භික්ෂූහු විශාලාමහනුවර ඇසුරුකොට වෙසෙත්ද, ඒ සියලු භික්ෂූහු උපස්ථාන ශාලාවට රැස්කරවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේට මෙය කීය. “ස්වාමීනි, භික්ෂු සංඝයා රැස් වූයේය. ස්වාමීනි, යමක් සඳහා භික්ෂූන් රැස්කරවීද, දැන් ඊට කාලය භාග්‍යවතුන් වහන්සේ දන්නාසේකැයි” කීය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. වැඩමවා පනවන ලද ආසනයෙහි වැඩහුන් සේක. වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ඇමතූසේක.
“මහණෙනි, මේ වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ආනාපාන සති සමාධිය ශාන්තද වෙයි. ප්‍රණීතද වෙයි. ශාන්ත වීමට පිටතින් එක්කළ යුක්තක් නැත්තේද වෙයි. සැප විහරණ ඇත්තේද වෙයි. උපනුපන් ලාමක අකුසල ධර්මයන් කරුණු අනුව අතුරුදන් කරයි. සංසිඳුවයි.
“මහණෙනි, යම්සේ ඇසල මස නැගුණු රජස් (දූලි) මහත් අකල් වැස්සක් වැස අතුරුදන් කරයිද, සංසිඳුවයිද, මහණෙනි, එපරිද්දෙන්ම වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සති සමාධිය ශාන්තද වෙයි. ප්‍රණීතද වෙයි. ශාන්තවීමට පිටතින් එක්කළ යුත්තක් නැත. සැපවිහරණ ඇත්තේදවෙයි. ලාමක අකුසල ධර්මයන් සුදුසු පරිදි අතුරුදන් කරයි, සන්සිඳවයි.
“මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වසයෙන් වඩන ලද්දාවූ ආනාපාන සති සමාධිය ශාන්ත වේද, ප්‍රණීත වේද පිටතින් එක්කළ යුත්තක් නැත්තේද සැප විහරණ ඇත්තේද උපනු‘පන් ලාමක අකුසල ධර්මයන් අතුරුදහන් කරයිද, සන්සිඳවයිද,
“මහණෙනි, මේ සාසනයෙහි මහණතෙමේ ආරණ්‍යයට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරි පත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආස්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රස්වාස කරන්නේය. දීර්ඝකොට ආස්වාස කරන්නේ හෝ ‘දීර්ඝකොට ආස්වාස කරන්නෙමි’ යි දන්නේය. දීර්ඝකොට ප්‍රස්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට ප්‍රස්වාස කරන්නෙමි’යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ආස්වාස කරන්නෙමියි’ දන්නේය. හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නේ හෝ ‘හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නෙමියි’ දන්නේය.
“මුල මැද අග යන සියලු ආස්වාස ප්‍රස්වාස කය දැන ගනිමියි යන අදහසින් ආස්වාස කරන්නෙමියි’ හික්මෙන්නේය.
“සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සන්සිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරයන් සන්සිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි නිරෝධය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි නිරෝධය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි.
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සති සමාධිය ශාන්තද වෙයි. ප්‍රණීතද වෙයි. පිටතින් එක්කළ යුත්තක් නැත්තේද වෙයි. සැප විහරණ ඇත්තේද වෙයි. උපනුපන් ලාමක අකුසල ධර්මයන් අතුරුදහන් කරන්නේය. සන්සිඳවන්නේයයි” වදාළේය.