සංයුත්තනිකායො
සගාථ වර්ගය
9. වන සංයුත්තය
3. කස්සපගොත්ත ( නොහොත් චේත ) සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍ර තෙම කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි.
එසමයෙහි වනාහි ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍ර තෙම දහවල් විවේකයට ගියේ එක්තරා වැද්දෙකුට ( මුවන් මරන්නෙකුට ) අවවාද කරයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවා ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍රයාහට අනුකම්පා කරන්නේ, වැඩ කැමැත්තේ, ආයුෂ්මත් කාශ්‍යප ගෝත්‍රයන් උනන්දු කරවනු කැමැත්තේ, කාශ්‍යපගෝත්‍රයන් යම් තැනකද එතැනට පැමිණියේය.
පැමිණ ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍රට ගාථායෙන් ( මෙසේ ) කීය:
’’පර්‍වත දුර්‍ගයෙහි ( යෑමට අපහසු තැනෙහි ) හැසිරෙන්නාවූ, නුනුවණ නැත්තාවූ කාරණාකාරණා දැනීමෙහි සමර්ත්‍ථනොවූ මුව වැද්දෙකුට නොකල්හි අවවාද කරන්නාවූ මහණතෙම අඥානමෙන් මට වැටහේ.
’’හෙතෙම අසයි, එහි අර්ත්‍ථය නොදනී, බලයි, එහෙත් නොදකී. බණ කියන කල්හි ඒ අඥානතෙම අර්ත්‍ථය අවබෝධ නොකෙරෙයි.
’’කාශ්‍යපය, තෝ ඉදින් පහන් ( ආලෝක ) දසයක් දරන්නෙහි නමුත් හෙතෙම ( හේතු ) රූපයන් නොදකීමය. යම් හේතුවකින් ඕහට ( ප්‍රඥා ) ඇස නැද්ද, එහෙයිනි.’’
ඉක්බිත් ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍ර තෙම ඒ දේවතාවා විසින් උනන්දු කරන ලද්දේ සංවේගයට පැමිණියේය.