සංයුත්තනිකායො

සගාථ වර්ගය

9. වන සංයුත්තය

3. කස්සපගොත්ත ( නොහොත් චේත ) සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍ර තෙම කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි.

එසමයෙහි වනාහි ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍ර තෙම දහවල් විවේකයට ගියේ එක්තරා වැද්දෙකුට ( මුවන් මරන්නෙකුට ) අවවාද කරයි.

ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවා ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍රයාහට අනුකම්පා කරන්නේ, වැඩ කැමැත්තේ, ආයුෂ්මත් කාශ්‍යප ගෝත්‍රයන් උනන්දු කරවනු කැමැත්තේ, කාශ්‍යපගෝත්‍රයන් යම් තැනකද එතැනට පැමිණියේය.

පැමිණ ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍රට ගාථායෙන් ( මෙසේ ) කීය:

’’පර්‍වත දුර්‍ගයෙහි ( යෑමට අපහසු තැනෙහි ) හැසිරෙන්නාවූ, නුනුවණ නැත්තාවූ කාරණාකාරණා දැනීමෙහි සමර්ත්‍ථනොවූ මුව වැද්දෙකුට නොකල්හි අවවාද කරන්නාවූ මහණතෙම අඥානමෙන් මට වැටහේ.

’’හෙතෙම අසයි, එහි අර්ත්‍ථය නොදනී, බලයි, එහෙත් නොදකී. බණ කියන කල්හි ඒ අඥානතෙම අර්ත්‍ථය අවබෝධ නොකෙරෙයි.

’’කාශ්‍යපය, තෝ ඉදින් පහන් ( ආලෝක ) දසයක් දරන්නෙහි නමුත් හෙතෙම ( හේතු ) රූපයන් නොදකීමය. යම් හේතුවකින් ඕහට ( ප්‍රඥා ) ඇස නැද්ද, එහෙයිනි.’’

ඉක්බිත් ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍ර තෙම ඒ දේවතාවා විසින් උනන්දු කරන ලද්දේ සංවේගයට පැමිණියේය.