ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
1. බුද්ධ වග්ගය
10. පිණ්ඩොල භාරද්වාජ ථෙරාපදානය
’’අග්‍ර පුද්ගලවූ තෙමේම සියල්ල අවබෝධ කළාවූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ එකල්හි හිමවතට ඉදිරිපසවූ චිත්‍රකූට පර්‍වතයෙහි විසීය.
’’බොහෝ ජනයා යමෙකුගේ ශබ්දය අසා විශේෂයෙන් කැළඹෙත්ද, එහි (මම එබඳු) නිර්භය ස්වභාව ඇති සිව් දිගින් යාමට සමත් සිංහයෙක් වීමි.
’’මනාව පිපුණු පියුමක් ඩැහැගෙන නරශ්‍රෙස්ඨවූ බුදුරජාණන් වහන්සේ වෙත එළඹියෙමි. සමාධියෙන් නැගී සිටියාවූ තථාගතයන් වහන්සේට (එය) පිදීමි.
’’මම සිව් දිගෙහි සිට මනුෂ්‍යොත්තමවූ බුද්ධ ශ්‍රෙෂ්ඨයන් වහන්සේට නමස්කාරකොට සිය සිත පහදවා සිංහනාද කෙළෙමි.
’’පූජා සත්කාර පිළිගන්නාවූ හෙවත්, පූජා සත්කාරයනට ගෙයක් වැනිවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සිය අසුනෙහි හිඳ මෙම ගාථාවන් වදාළ සේක.
’’(අපි බුදුන් වෙමුයි) කියන්නවුනට ශ්‍රෙෂ්ඨවූ බුදුරජතෙම පැමිණිසේක. අපි (උන්වහන්සේගේ) එම ධර්‍මය අසමුයයි සියලු දෙවියෝ සර්‍වඥයන් වහන්සේගේ වචනය දැන රැස්වූහ.
’’ලෝකනායකවූ, දීර්‍ඝ දර්ශීවූ, බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රීතියෙන් යුක්තවූ ඔවුන් ඉදිරියෙහි මාගේ ශ්‍රද්‍ධාව ප්‍රකාශ කළ සේක.
’’යමෙකු විසින් මේ පියුම දෙන ලදද, සිංහ නාදය කරණ ලදද, මම ඔහු පිළිබඳ තොරතුරු කියන්නෙමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.
’’මෙයින් අටවෙනි කල්පයෙහි සත්රුවන් සහිතවු සතර මහා දිවයිනෙහි අධිපතිවූ සක්විති රජෙක් වන්නේය.
’’සූසැට ජාතියෙක පෘථිවියෙහි අධිපතිවූ (රජ) බව කරන්නේය. මහා බල ඇති නම්න් පදුම නම්වූ සක්විති රජ වන්නේය.
කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ ගොත්‍රයෙන් ගෞතම නම් වන්නාවූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.
’’(එකල්හි හෙතෙම) බ්‍රාහ්මණයෙක් වන්නේය. (ගෞතම) බුදුරජාණන් වහන්සේ දහම් දෙසූ කල්හි බ්‍රාහ්මණ කුලයෙන් නික්ම එකෙණෙහි පැවිදි වන්නේය.
’’වීර්‍ය්‍ය කිරීම පිණිස මෙහෙයන ලද සිත් ඇත්තේ උපශාන්තවූ (ක්ලේශ රහිත බැවින්) නිරූපධිවූ හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහීණකොට ආශ්‍රව රහිතවූයේ පිරිනිවන් පාන්නේය.
’’චණඩ මෘගයන්ගෙන් ගැවසිගත් ජන සම්බාධ රහිත දුර අරන් සෙනසුන්හි (වැස) සියළු ආශ්‍රවයන් ප්‍රහීණකොට ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.
[’’මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.]
’’මේ සිවි පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ ශාසනය කරණ ලදී’’
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
පිණ්ඩොලභාරද්වාජ ථෙරාපදානය අටවැනියි.