ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

1. බුද්ධ වග්ගය

9. අඤ්ඤාත කොණ්ඩඤ්ඤ ථෙරාපදානය

’’(සකළ සත්ත්‍ව) ලෝකයෙහි ජ්‍යෙෂ්ඨවූ (විශේෂයෙන් වින්‍යෙය සත්ත්‍වයන් සසර සයුරෙන් එතෙරට පමුණුවන බැවින්) විනායකවූ බුදු පදවියට පත් පදුමුත්තර සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ මම පළමුකොටම දුටිමි.

’’බෝමුලෙහි යම් පමණ සත්ත්‍වයෝ රැස් වූවාහුද, ඒ සියල්ලෝ බැඳැඳිලි ඇත්තාහු බුදුරජුන් පිරිවරා වඳිත්.

’’මෙතෙම ලබන ලද බුදුබව ඇත්තේ මොහාන්‍ධකාරය දුරු කෙරේයයි සතුටු සිත් ඇති ඒ සියලු දෙවියෝ අහසෙහි හැසිරෙත්.

’’සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි කෙළෙස් දවමුයයි සතුටින් යුත් මහා නාදය පවතී.

’’වචනය සමගම කියන ලද දෙවියන්ගේ ශබ්දය අසා මම සතුටුවූයේ සතුටු සිතින් ප්‍රථම භික්‍ෂාව දුනිමි.

’’මාගේ අදහස දැන ලෝකයෙහි අනුත්තරවූ ශාස්තෲන් වහන්සේ දිව්‍ය සමූහයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.

’’අභිනිෂ්ක්‍රමණය කොට සතියකින් මම සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි. බ්‍රහ්මචාරීව මාගේ (සිරුර) යැපෙන මෙය පළමු දානයයි.

’’යමෙක් තුසිත දෙව්ලොව සිට මෙහි අවුත් මට භික්‍ෂාව පිළිගැන්වීද, මම ඔහු ගැන කියන්නෙමි. එසේ කියන්නාවූ මාගේ වචනය අසව්.

’’කල්ප තිස් දහසක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. සියලු දෙවියන් අභිභවනයකොට දෙව්ලොව වසන්නේය.

’’දෙව්ලොවින් චුතව මිනිසත් බවට යන්නේය. එහි දහස් වරක් රාජ්‍යය කරන්නේය.

’’(මින්) කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, ගෝත්‍රයෙන් ගෞතම නම්වූ, ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.

’’හෙතෙම දෙව්ලොවින් චුතව මිනිසත් බවට යන්නේය. ගිහිගෙන් නික්ම පැවිදිව සවසක් (දුෂ්කර ක්‍රියා කරමින්) වසන්නේය.

’’ඒ අභිනිෂ්ක්‍රමණයෙන් සත්වැනි වර්‍ෂයෙහි බුදුරජතෙම සත්‍ය (ධර්‍මය) දේශනා කරන්නේය. නම්න් කොණ්ඩඤ්ඤ නම් තැනැත්තේ පළමුකොට (ධර්‍මය) ප්‍රත්‍යක්‍ෂ (අවබෝධය) කරන්නේය.’’

’’(ගෘහාභිනිෂ්ක්‍රමණය කළ) බෝසතුන් හා (නික්ම) ඒ අනුව පැවිදිවීමි. මා විසින් වීර්‍ය්‍යය මැනවින් කරණ ලදී. කෙලෙස් දැවීම පිණිස (අනගාර්‍ය්‍ය නම්) සසුනෙහි පැවිදිවීමි.

’’දෙවියන් සහිත ලෝකයෙහි (සියළු දතයුතු ධර්‍මයන් අවබෝධ කොට) සර්‍වඥවූ බුදුරජ මිගදාය නම් ඉසිපතනයට එලඹ (එහිදි) අමා බෙරය ගැසීය.

’’ඒ මම දැන් ශාන්තවූ, නිරුත්තර පදයවූ නිවණට පැමිණියේ, සියලු ආශ්‍රවයන් (පහාණ පරිඤ්ඤාවෙන්) ප්‍රහාණයකොට ආශ්‍රව රහිතව වෙසෙමි.

[කෙළෙස් දවන ලදී. ’’මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.]

’’මේ සිවි පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී’’

මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඤ්ඤාත කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක.

අඤ්ඤාත කොණ්ඩඤ්ඤ ථෙරාපදානය සත්වැනියි.