ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
2. සිහාසන දායක වග්ග
9. සොපාක ථෙරාපදානය
’’වනයෙහි උතුම් පර්‍වතයෙක්හි (වූ) පර්වත ගුහාවක් පිරිසිදු කරන්නාවූ මා වෙත සිද්‍ධාර්ථ නම් භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේක.
’’මම එළඹ සිටියාවූ බුදුරජාණන් වහන්සේ දැක, තාදී ගුණ ඇති, ලෝකජ්‍යෙෂ්ඨවූ ශාස්තෲන් වහන්සේට ඇතිරියක් අතුරා පුෂ්පාසනයක් (මලසුනක්) දුනිමි.
’’සිද්‍ධාර්ථ බුදුරජාණන් වහන්සේ පුෂපාසනයෙහි වැඩහිඳ මාගේ මතු උත්පත්ති ස්ථානයද දැන අනිත්‍යභාවය වදාළ සේක.
’’ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යයහ. ඉපදීම හා විනාශය ස්වභාවය කොට ඇත්තාහ. ඉපදී නැතිවෙත්. ඔවුන්ගේ සන්සිඳිම සැපයයි.
’’ලෝකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, ප්‍රාඥවූ සර්‍වඥයන් වහන්සේ මෙය වදාරා අහසෙහි (යන) හංස රාජයෙකු මෙන් අහසට පැන නැංගේය.
’’මම ස්වකීය ලබ්ධිය හැර අනිත්‍ය සංඥාව වැඩීම එක් දිනක් භාවනාකොට මම එහි කළුරිය කෙළෙමි.
’’කුශල මූලයන් මෙහෙයන ලදුයේ (දිව්‍ය - මනුෂ්‍ය සංඛ්‍යාත) විවිධ සම්පත් අනුභවකොට අන්තිම භවය පැමිණි කල්හි (ස්වකීය බත අනුන් අනුභව නොකරණ බැවින් සපාක නම්වූ) සැඩොල් කුලයට උත්පත්ති වශයෙන් එළඹුනිමි.
’’අගාර නම් ගිහිගෙන් නික්ම අනගාර්‍ය නම් සාසනයෙහි පැවිදිවීමි. උත්පත්තියෙන් සත් වස්වූ මම රහත් බවට පැමිණියෙමි.
’’අරඹූ වීර්‍ය්‍ය ඇති (නිවණ කෙරෙහි) මෙහෙයන ලද සිත් ඇත්තේ, ශීලයන්හි මැනවින් හික්මුනේ, බුදුරජාණන් වහන්සේ සතුටුකොට උපසම්පදාව ලැබීමි.
’’මෙයින් සිව්අනූවන කපෙහි (වූ) එම කාලයෙහි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඉන්) දුගතියක් නොදනිමි. මෙය පුෂ්පදානයාගේ විපාකයයි.
’’මෙයින් සිව්අනූවන කපෙහි (වූ) එම කාලයෙහි යම් අනිත්‍ය සංඥාවක් වැඩූයෙම් නම් එම සංඥාව වඩන්නාවු මාගේ ආශ්‍රව ක්‍ෂයවිය.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෝපාක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සොපාකත්ථෙරස්සාපදානං නවමං.