ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
2. සිහාසන දායක වග්ග
10. සුමඞ්ගල ථෙරාපදානය
’’යාගයක් කරණු කැමති (දානයක් දෙනු කැමති) මම බොජුන් පිළිලෙ කරවා (ප්‍රතිග්‍රාහකවූ ශුද්‍ධ පැවිදි) බමුණෙක් සොයමින් විශාල මාලයක සිටියෙමි.
’’ඉක්බිති මහත් යසස් ඇති, සියලු ලෝකයා (නිවණට) පමුණුවන්නාවූ, තෙමේම සියල්ල අවබෝධ කළාවූ, අග්‍රපුද්ගලවූ, භාග්‍යවත්වු, ප්‍රතිභා සම්පන්නවූ, ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලද, සුර්‍ය්‍යයා මෙන් බබළන ලද, වීථියට පිළිපන් පියදස්සී බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
’’ඇඳිලි බැඳ, ස්වකීය චිත්තය පැහැදවීම නිසා මහා මුනිවූ බුදුරජාණන් වහන්සේ (මාගේ නිවසට) වඩින සේක්වායි සිතින් ආරාධනා කෙළෙමි.
’’ලෝකයෙහි අනුත්තරවූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස් දැන රහතුන් දහසක් සමග මාගේ ගෙදොරට පැමිණි සේක.
’’පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ පහයට නැගී, සිහසුනෙහි වැඩ හිඳින සේක්වා.
’’දමිතවූයේ දමිතවූ පිරිවර (සසරින්) එතෙර කරවුයේ, එතෙර කරන්නවුන් අතුරෙන් උතුම්වූ බුදුරජාණෝ පහයට නැගී, උතුම් අසුනෙහි වැඩහුන් සේක.
’’ස්වකීය ගෘහයෙහි මට සම්පාදනය කරණ ලද යම් ආහාරයක් වීද, පහන් සිත් ඇති මම සියතින්ම බුදුරජාණන් වහන්සේට එම ආහාර (දානය) දුනිමි.
’’පහන් සිත් ඇත්තේ, සතුටුවූයේ, හටගත් සොම්නස් ඇත්තේ, කරණ ලද ඇඳිලි ඇත්තේ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට නමස්කාර කරන්නෙමි. බුදුරජාණන් වහන්සේගේ උදාර බව ආශ්චර්‍ය්‍යයි.
’’(එහි) වළඳන්නාවූ පයිරුපාසනය කරණ අෂ්ට ආර්‍ය්‍ය පුද්ගලයන් අතුරෙන් රහත්හුම බොහෝ වූහ. මෙය ඔබ වහන්සේගේම ආනුභාවයයි. මම (ඔබ වහන්සේ) සරණකොට යමි.
’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ පියදස්සී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.
’’ඎජු ප්‍රතිපන්න, තාදී ගුණ යත්, සන්සුන් සංඝයාද, තථාගතවූ බුදුරජාණන් වහන්සේද, ඒ යමෙක් වැළඳවීද, (ඔහු පිළිබඳව) කියන්නාවූ මාගේ වචනය අසව්.
’’හෙතෙම සත් විසි වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේයි. පටන්ගත් ස්වකීය කටයුතු ඇති හෙතෙම දිව්‍ය ලෝකයෙහි සිත් අලවා වෙසෙයි.
’’හෙතෙම අටළොස් වරක් සක්විති රජ වන්නේය. පන්සිය වරක් පෘථිවියෙහි රාජ්‍යය ගෙන පොළවෙහි වාසය කරන්නේය.
’’ව්‍යාඝ්‍රයන් විසින් සෙව්නා ලද, මහා වනයට පිවිස, වීර්‍ය්‍යකොට මා විසින් කෙළෙස් දවන ලදී.
’’එක්සිය අටළොස්වන කපෙහි (වූ) එකල්හි යම් ආහාර දානයක් දුනිම්ද (එබැවින්) අගතියක් නොදනිමි. ආහාර දානයාගේ මේ විපාකයයි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමඞ්ගල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සුමඞ්ගලත්ථෙරස්සාපදානං දසමං.
සීහාසනියවග්ගො දුතියො.