ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

3. සුභූති වග්ග

1. සුභූති ථෙරාපදානය

’’හිමවතට නුදුරෙහි නිසභ නම් පර්‍වතයකි. (එහි) මට අසපුවක් කරණ ලදී. පන්සලක්ද මැනවින් නිර්මිත කරණ ලදී.

’’(මම එහි) උග්‍රවූ තපස් ඇති ’’කොසිය’’ නම් ජටිලයෙක් (ජටාධරයෙක්) වීමි. එකල්හි මම නිසභ පර්‍වතයෙහි එකලාව දෙවැන්නෙක් නොමැතිව වසමි.

’’එකල්හි මම පලමුල් කොළ (ගස්වලින් නෙලාගෙන) අනුභව නොකරමි. එකෙණෙහි ස්වයංපතිත පඬුවන් පත් (අනුභවකොට) ජීවත් වෙමි.

’’මම ජීවිතය හැර දමන්නේ නමුදු (සම්‍යක්) ආජීවය (පලමුල් ආදී ආහාර සෙවීමෙන්) කොප්‍ය නොකරමි. ස්වකීය සිත (අල්පෙච්ඡ සන්තුෂ්ටතාවන්ගෙන්) පහදවමි. (වෙදකම්, දූතකම් ආදී එක්විසි) අනේසනයන් දුරුකරමි.

’’යම් කලෙක්හි රාගයෙන් යුක්තවූ සිතක් මට උපදීනම් (එකල්හි) තෙමේම ප්‍රත්‍යවේක්‍ෂා කරමි. එකඟවූ සිත් ඇත්තේ ඒ මම එම (රාගී) අදහස මෙසේ අවවාද කර ගනිමින් දමනය කරමි. කෙසේද යත්?

’’තෝ ඇලුම් කටයුතු දෙයෙහි ඇලෙහිද, ද්වේෂ කටයුතු දෙයෙහි ද්වේෂ කෙරෙහිද, මුළාවියුතු දැයෙහි මුළාවෙහිද (එසේ නම්) වනයෙන් නික්ම යව.

’’මේ (අරණ්‍ය) වාසය පිරිසිදුවූ, නිර්‍මල තපොගුණ ඇතියනටය. තෝ මේ පිරිසිදු (වාසය) දූෂ්‍ය (අපිරිසිදු) නොකරව. (එසේ නම්) වනයෙන් නික්ම යව.

’’ගිහිව හැමකල්හි (ඒ තමාට) සුදුසු දෑ ලබන්නෙහිය. (ගිහිබව හා පැවිදිබව යන) දෙකම වරද්දා නොගනුව. වනයෙන් නික්ම යව.

’’සොහොන් පෙනෙල්ල යම් සේ කිසි කටයුත්තකට නොයොදාද, ගමෙහි හෝ අරණෙහි හෝ කාෂ්ට (දර) යයි සම්මත නොවේද (එසේම)

’’තෝ සෙහොන් පෙනෙල්ලක් වැනි වෙහිය. ගිහියෙක් නොවේ, පැවිද්දෙක්ද නොවේ. ගිහි පැවිදි දෙපසින්ම මිදුනේ වෙහිය. අදම වනයෙන් නික්ම යව.

’’තාගේ මෙබඳු ගතියක් වෙහි නම් මෙය කවරෙක් දනීද, මාගේ ශ්‍රද්‍ධා දුරය දුරු කෙරෙයි නම් (එය) කුසීත බව වැඩිවීම පිණිසද පවතී.

’’නුවර වැසියන් අසූචි පිළිකුල් කරන්නාක් මෙන් නුවණැත්තෝ තා පිළිකුල් කරන්නාහුයි. ඎෂීහු තා ඇද දමා හැමකල්හි චෝදනා කරන්නාහුය.

’’නුවණැත්තෝ තා ඉක්මවූ සසුන ඇත්තෙකැයි (චෝදනා වශයෙන්) කියන්නාහුය. නුවණැත්තන්ගේ සහවාසය නොලබන්නාවූ තෝ කෙසේ ජීවත් වන්නෙහිද?

’’බලවත් ඇත් රජෙක් තෙම ත්‍රිමද ගලිතවූ, මෘතඞ්ග හස්ති කුලයෙහි ජාතවූ, උපන් සැටවස් ඉක්ම ගිය මහ ඇතෙකු එළඹ ඇත් රැළෙන් බැහැර කෙරෙයි නම්,

’’ඇත් රැළෙන් බැහැරවූ එම ඇතා ලොකු සුවයක් නොවිඳී. දුක්ඛිතව දොම්නස් වේ. ලතවෙමින් වෙවුලයි.

’’එසේම ජටාධර තවුසෝ අඥානවූ ඔහු (තවුස් පිරිසෙන්) බැහැර කෙරෙත්. ඔවුන් විසින් බැහැර කරණ ලද තෝ (සිත කය දෙකින්ම) සුවයක් නොලබන්නෙහිය.

’’දිවා කල්හිද, යලි රාත්‍රියෙහිද, හැමදා ශෝක නමැති හුල ඇත්තේය. ඇත් රැලෙන් බැහැර කළ ඇතෙකු මෙන් (තෝ) පරිළාහයෙන් දැවෙහිය.

’’යම් සේ ස්වර්‍ණය කිසිතැනෙක්හි යකුළ නොදවාද, එසේම සීලයෙන් තොරවූ තෝ කිසි තැනෙක්හි ධ්‍යාන නොකරන්නෙහිය.

’’තෝ ගිහිගෙයි වසන්නේ නමුදු කෙසේ ජීවත් වන්නෙහිද, තට මව සතුවූ හෝ, පියා සතුවූ තැන්පත්කොට තබන ලද ධනයක් නැත.

’’සිරුරෙහි ඩහ වගුරුවමින්, තෙමේම කර්‍මාන්තකොට ගිහිගෙයි මෙසේ ජීවත් වන්නෙහිය. තට එය රිසි නොවේ නම් මැනවි.

’’මෙසේ මම එහිදී කිළිටිබවට ගිය සිත වලක්වමි. නොයෙක් ධර්‍ම කථා කියා පවින් සිත වැළකීමි.

’’නොපමාව වෙසෙන සුළුවූ මෙසේ වනයෙහි වසනා මට හවුරුදු තික් දහසක් ඉක්ම ගියහ.

’’උත්තාමාර්ත්‍ථයවූ (නිවණ) සොයන අප්‍රමාදයෙහි ඇළුනු මා දැක පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මාගේ සමීපයට එළඹි සේක.

’’(රන්) තිඹිරි ගෙයක වර්‍ණයට බඳු පැහැ ඇති, පමණ කොනළ හැකි ගුණ ඇති, උපමා විෂයාතික්‍රාන්තවූ, රූපයෙන් අසදෘෂවූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.

’’මැනවින් පිපුණු මහ සල් රුකක් මෙන්ද, වැසි වළාකුළු අතරෙහිවූ විදුලියක් මෙන්ද, නුවණින් අසදෘශවූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.

’’අභීතවූ සිංහ රාජයෙකු මෙන්ද, දර්පිතවූ ඇත් රජෙකු මෙන්ද, ලංවිය නොහැකි ව්‍යාඝ්‍ර රාජයෙකු මෙන්ද (බුදුරජාණන් වහන්සේ) එකල්හි අහසෙහි සක්මන් කළ සේක.

’’(දිව්‍ය ස්වර්‍ණයනටද වඩා ශ්‍රේෂ්ඨ) සිංගී නම් ස්වර්‍ණ නිෂ්කයේ (කළන් විස් හෝ විසිපහ නිෂ්කයයි) පැහැයට බඳු පැහැ ඇති, කිහිරඟුරු මෙන් (දිලිසෙන්නාවූ) ජොතිරස නම් මැණික මෙන්වූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.

’’නිර්‍මල කෛලාශය වැනිවූ, පූර්‍ණ චන්‍ද්‍රයා වැනිවූ, මධ්‍යාහ්නයෙහි සූර්‍ය්‍යයා වැනිවූ (බුදුරජාණන් වහන්සේ) එකල්හි අහසෙහි සක්මන් කළ සේක.

’’(මම) එකල්හි අහසෙහි සක්මන් කරන්නාවූ උන්වහන්සේ දැක මෙසේ සිතීමි. මේ සත්ත්‍වතෙම දෙවියෙක්ද, නැතහොත් මේ තෙමේ මනුෂ්‍යයෙක්ද?

’’මා විසින් පොළවෙහි (වසන) මෙබඳු මනුෂ්‍යයෙක් (තෙම) නොඅසන ලදී. (එසේම) නොදක්නා ලදී. මන්ත්‍ර පදයකුදු ඇත. මේ ශාස්තෘ තෙමේ වන්නේය (කියායි.)

’’එකල්හි මම මෙසේ සිතා ස්වකීය සිත පැහැදවීමි. මම නොයෙක් මල්ද, සුවඳද රැස්කොට,

’’මල් අසුනක් පණවා, යහපත් සිත් ඇති, මනොඥවූ, පුරුෂයන් දමණය කිරීමෙහි රියසැරි (සාරථී) යෙකු වැනියනට අග්‍රවූ බුදුරජාණන් වහන්සේට මෙම වචනය කීමි.

’’වීරයන් වහන්ස, මා විසින් මේ අසුන ඔබ වහන්සේට සුදුසුකොට පණවන ලදී. මාගේ සිත සතුටු කරමින් මල් අසුනෙහි වැඩ හිඳිනු මැනව (කියායි.)

’’භාග්‍යවත්වූ බුදුරජාණන් වහන්සේ රෑ දාවල් සතක් (සතියක්) මුළුල්ලෙහි අභීත කේශර සිංහ රාජයෙකු මෙන් එම මල් අසුනෙහි වැඩහුන් සේක.

’’මමද සතියක් මුළුල්ලෙහි නමස්කාර කරමින් සිටියෙමි. ලෝකයෙහි (තමන් වහන්සේට වැඩි කෙනෙකුන් නැති හෙයින්) අනුත්තරවූ ශාස්තෘන් වහන්සේ සමාධියෙන් නැගිට,

’’මාගේ කර්‍මය ප්‍රකාශ කරණ සේක්, මෙම වචනය වදාළ සේක. භාවනාවන් අතුරෙන් ශ්‍රෙෂ්ඨවූ, බුද්ධානුස්සති භාවනාව වඩයි.

’’මෙම බුද්ධානුස්සතිය වඩා අද්‍ධ්‍යාශය සම්පූර්‍ණ කරන්නෙහිය. කල්ප තිස් දහසක් මුළුල්ලෙහි දිව්‍ය ලෝකයෙහි සිත් අලවා වාසය කරන්නෙහිය.

’’ශක්‍ර දේවේන්‍ද්‍රව අසූ වරක් දිව්‍ය රාජ්‍යය කරන්නෙහිය. දහස් වරක් සක්විති රජ වන්නේය.

’’(තමා ලබන) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙපමණයයි) ගණන් වශයෙන් ගිනිය නොහැකිය. එම සියල්ල ඔබ අනුභව කරන්නෙහිය. (මෙය) බුද්‍ධානුස්මෘතියෙහි පලයයි.

’’කුදුමහත් භවයෙහි හැසිරෙන්නේ මහත්වූ භෝග සම්පත් ලබන්නෙහිය. ඔබගේ (ඒ) භෝග සම්පත්තියෙහි අඩුවක් (නම්) නැත. මේ බුද්‍ධානුස්මෘතියෙහි පලයයි.

’’කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක වංශයෙන් උපන්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.

’’අසූකෙළක් (ධනයද) බොහෝ දස් කම්කරුවන්ද හැරදමා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නෙහිය.

’’ශාක්‍යකුල ශ්‍රේෂඨවූ ගෞතම බුදුරජාණන් වහන්සේ සතුටුකොට නම්න් සුභූති නම්වූ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.

’’(ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ) භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ, ඒ සුභූති තෙරුන් දක්‍ෂිණෙය්‍ය ගුණයෙහිද, අරණ්‍ය විහාරයෙහිද යන අග්‍ර සභා දෙකෙහි නංවන්නේය.

’’ප්‍රාඥවූ දීපඞ්කර නමැති බුදුරජාණන් වහන්සේ මෙම වචනය වදාරා අහසෙහි (යන) හංස රාජයෙකු මෙන් අහසට පැන නැංගාහ.

’’ලෝකනාථයන් වහන්සේ විසින් අනුශාසනා කරණ ලද මම තථාගතයන් වහන්සේට වැඳ හැමකල්හි සතුටුවූයේ උතුම්වූ බුද්‍ධානුස්මෘති භාවනාව වැඩීමි.

’’මැනවින් කරණ ලද එම කර්‍මයන් හා චිත්ත ප්‍රණිධීන්ද කරණ කොට ගෙන මම මනුෂ්‍ය ශරීරය හැර දමා තව්තිසා දෙව්ලොවට (උත්පත්තියෙන්) ගියෙමි.

’’මම ශක්‍ර දේවේන්ද්‍රව අසූවරක් දිව්‍ය රාජ්‍යය කරවීමි. දහස් වරක් සක්විති රජ වීමි.

’’මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (ලැබූ වාර ගනන මෙතෙකැයි) ගණනින් ගිනිය නොහැකිය. උතුම් සැපත අනුභව කරමි. මේ බුද්ධානුස්මෘති භාවනාවෙහි විපාකයයි.

’’මම කුදු මහත් භවයෙහි සැරිසරන්නේ, මහත්වූ භොග සම්පත් ලබමි. මාගේ භොග සම්පත්තියෙහි අඩුවෙක් නම් නැත. මේ බුද්‍ධානුස්මෘති භාවනාවෙහි විපාකයි.

’’මින් කල්ප ලක්‍ෂයකින් පෙරවූ එම කාලයෙහි යම් කර්‍මයක් කෙළෙම්ද (එබැවින්) දුගතියක් නොදනිමි. බුද්‍ධානුස්මෘති භාවනාවෙහි විපාකයයි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුභූති තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සුභූතිත්ථෙරස්සාපදානං පඨමං.