ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
3. සුභූති වග්ග
2. උපවාන ථෙරාපදානය
’’සියළු පරතෙරට ගියාවූ, පස් මරුන් දිනූ, පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගිනිකඳක් මෙන් බබලා පිරිණිවන් පෑ සේක.
’’මහජනයා එක්රැස්ව, තථාගතයන් වහන්සේ පුදා, මැනවින් සැයක් කොට සර්‍වඥ දේහය එයට නැගූහ.
’’එහි ශරීරය පිළිබඳ ආදාහණ කෘත්‍යය කොට, ධාතු ගෙනාවාහුය. ඒ සියලු දිව්‍ය මනුෂ්‍යයෝ (එම ධාතු නිදන්කොට) බුද්ධස්ථූපයක් කළාහුය.
’’(එම ස්ථූපයෙහි) පළමු නිම් වළල්ල රන්මුවාය. දෙවැන්න මිණිමුවාය. තෙවැන්න රිදීමුවාය. සිව්වැන්න පළිඟුමුවාය.
’’එසේම, පස්වෙනි නිම් වළල්ල පියුම් රාමිණිමුවායි. සවැන්න මැසිරිගල්මුවායි. (මේ සියල්ලට) මතුයෙහි (කොටස) සර්‍වරන්තමයය.
’’ජඝනය (යට කොටස) මිණිමුවාය. වේදිකාව රුවන්මුවාය. (මෙසේ) සෑය ස්වර්‍ණමයයි. යොදුනක් උසට පැන නැංගේය.
’’එකල්හි එහි දෙවියෝ රැස්ව එකතුව මන්ත්‍රණය කළාහුය. (කෙසේදයත්?) තාදී ගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපිදු සෑයක් කරමු.
’’(ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ) ධාතු වෙන් වෙන්ව නැත. මුළු සිරුරම එකට කැටිව තිබේ. (එබැවින්) අපි මේ සෑයෙහිම වැසීමට සැට්ටයක් (වැස්මක්) කරන්නෙමුය කියායි.
’’දෙවියෝ (එම සෑය) සත්රුවනින් තවත් යොදුනක් වැඩි කළාහුය. (ඉක්බිති) එම සෑය දෙයොදුනක් උසය. (එහි ආලොකයෙන්) අඳුරද දුරුකෙරෙයි.
’’එකල්හි නාගයෝ එහි රැස්ව එකතුව මන්ත්‍රණය කළාහුය. (කෙසේදයත්?) ඒ මනුෂ්‍යයෝද, දෙවියෝද බුදුරජාණන් වහන්සේට සෑය කළාහුය.
’’අපිදු පමා නොවෙමු. දෙවියන් සහිත ලෝ වැස්සෝද පමා නොවෙති. තාදී ගුණ ඇති ලෝක නාථයන් වහන්සේට අපිදු සෑයක් කරන්නෙමුය’’ කියායි.
’’ඉඳුනිල්ද, මහනිල්ද, යලි ජොති රස නම් මැණික්ද එක්කොට බුදුරජාණන් වහන්සේගේ සෑය වැසූහ.
’’එකල්හි (එය) එපමණකින් සියල්ල මිණියෙන් කරණ ලද එලිය කරන්නාවූ තුන් යොදුන් උස බුද්‍ධස්ථූපයක් විය.
’’එකල්හි ගුරුළෝද එහි රැස්ව මන්ත්‍රණය කළාහුය. (කෙසේදයත්?) ඒ මනුෂ්‍යයෝද, දෙවියෝද, නාගයෝද බුද්‍ධස්ථූපයක් කළාහුය.
’’අපිදු පමා නොවෙමු. දෙවියන් සහිත ලෝ වැස්සෝ පමා නොවූවෝ වෙති. තාදී ගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපිදු සෑයක් කරන්නෙමු.
’’ගුරුළෝ ස්ථූපයෙහි සර්‍වමණිමය පිට සැට්ටයක් (වැස්මක්) කළාහුය. ඔවුහුද බුද්ධස්ථූපයෙහි උස යොදුනකින් වැඩි කළාහුය.
’’සිව් යොදුන් උස (මෙම) බුද්ධස්තූඵය බබළයි. උඩට නැගුණු සූර්‍ය්‍යයා මෙන් සියලු දිශාවන් ආලෝක කෙරෙයි.
’’එකල්හි කුම්භාණ්ඩයෝද (දිව්‍ය විශෙෂයකි) එහි රැස්ව එකතුව මන්ත්‍රණය කළාහුය. (කෙසේදයත්?) මනුෂ්‍යයෝද, දෙවියෝද, නාගයෝද, එසේම ගුරුළෝද, වෙන වෙනම බුද්ධ ශ්‍රේෂඨයන් වහන්සේට උතුම් සෑයක් කළාහුය. අපි පමාවූවෝ නොවෙමු. දෙවියන් සහිත ලෝ වැස්සෝද පමානොවූවෝ වෙති.
’’තාදී ගුණ ඇති බුද්ධශ්‍රේෂඨයන් වහන්සේට අපිදු සෑය කරවන්නෙමු. බුද්ධස්ථූපය මතුයෙහි අපිදු රත්නයන්ගෙන් වසන්නෙමුය කියායි.
’’ඔවුහුද බුද්ධස්ථූපය යළි යොදුනක් (උස) වැඩි කළාහුය. එකල්හි පස් යොදුන් උස සෑය බබළයි.
’’එකල්හි යක්‍ෂයෝද එහි රැස්ව එකතුව මන්ත්‍රණය කළාහුය. (කෙසේදයත්?) මනුෂ්‍යයෝද, දෙවියෝද, නාගයෝද, ගුරුළෝද, කුම්භාණ්ඩයෝද වෙන වෙනම බුද්ධ ශ්‍රේෂඨයන් වහන්සේට උතුම් සෑයක් කළාහුය. අපි ප්‍රමාද නොවෙමු. දෙවියන් සහිත ලෝ වැස්සෝද පමා නොවූවෝ වෙති.
’’තාදී ගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපිදු සෑයක් කරවන්නෙමු. බුද්ධස්ථූපය මතුයෙහි පළිඟුයෙන් වසන්නෙමුය කියායි.
’’ඔවුහුද බුද්ධස්ථූපය මතුයෙහි යොදුනක් වැඩි කළාහුය. එකල්හි (එම) සෑය සයොදුනක් උස්වේ.
එකල්හි ගත්‍ධර්‍වයෝද රැස්ව එකතුව මන්ත්‍රණය කළාහුය. (කෙසේදයත්?) මනුෂ්‍යයෝද, දෙවියෝද, නාගයෝද, ගුරුළෝද, කුම්භාණ්ඩයෝද, යක්‍ෂයෝද බුද්ධස්ථූපය කළාහුය. මෙහි අපි (කිසිවක්) නොකළාහු වෙමු. තාදී ගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපිදු සෑය කරවන්නෙමුය කියායි.
’’ඔවුහු (එහි) වේදිකා සකස්කොට ඡත්‍රයක්ද නැගූහ. එකල්හි ගත්‍ධර්‍වයන් සෑය සර්‍ව ස්වර්‍ණමයම කරවූහ.
’’එකල්හි සත් යොදුනක් උස සෑය බබළයි. රෑ දාවල්හු නොදැනෙත්. හැම කල්හි ආලෝකය වේ.
’’තාරකා සහිතවූ චන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ එම චෛත්‍යයාගේ ප්‍රභාව නොඉක්මවත්. හාත්පස යොදුන් සියයක් තන්හි පහනකුදු නොදැල්වීය.
’’එකල්හි යම්කිසි මනුෂ්‍ය නෙනෙක් සෑයට (කිසිවක්) පූජා කෙරෙත් නම් ඔවුහු සෑයට නොගනිත්. (ඔවුහු) අහසට උඩ දමත්.
’’දෙවියන් විසින් තබන ලද ’’අභිසම්මත’’ නම් යක්‍ෂයෙක් විය. (හෙතෙම උඩට දැමූ) ධජ හෝ මල්දම් සෑ මුදුනෙහි නගා තබයි.
’’ඔවුහු එම යක්‍ෂයා නොදකිත්. එය ගෙණ යන යක්‍ෂයාගේ මල්දම පමණක් දකිත්. යන සියල්ලෝ මෙසේ දැක සුගතියට යෙත්.
’’ත්‍රිපිටක බුද්ධ වචන සංඛ්‍යාත ධර්‍මයෙහි සැදැහැති යමෙක් වෙත්නම් ඔවුහුද, සසුනෙහි පහන්වූ යමෙක් වෙත් නම් ඔවුහුද, (යන සියළු) මනුෂ්‍යයෝ ප්‍රාතිහාර්‍ය්‍ය දකිණු කැමැත්තාහු ස්ථූපය (මල්දම් ආදියෙන්) පුදත්.
’’එකල්හි මම හංසවතී නගරයෙහි බාලයෙක් වීමි. එකල්හි සතුටුවූ ජනයා දැක මම මෙසේ සිතීමි.
’’යම් (බුදු) කෙනෙකුගේ දාගෙය මෙබඳු (ගරු සත්කාර) ලබානම් (එම ධාතු අයත්) ඒ භාග්‍යවත් තෙමේ උදාර කෙනෙකි. මේ ජන සමූහයාද සතුටුවූවාහු බොහෝවූ සත්කාර කෙරෙත්.
’’මමද තාදී ගුණ ඇති පදුමුත්තර ලෝකනාථයන් වහන්සේගේ (චෛත්‍යයට) සත්කාරයක් කරන්නෙමි. අනාගතයෙහි උන්වහන්සේගේ ධර්‍මයෙහි කොටස්කරුවෙක් වන්නෙමියි (සිතීය).
’’රජකයෙකු විසින් මැනවින් සෝධා පිරිසිදු කරණ ලද මාගේ උතුරු සළුව උණ දඬුවක අග එල්වා ධජයක් සකස්කොට අහසෙහි (උඩට) ඔසවා තැබීමි.
’’අභිසම්මත යක්‍ෂ තෙම මාගේ ධජය ගෙන අහසෙහි එල්වා තැබිය. වාතයෙන් සෙලවෙන්නාවූ ධජය දැක මම බොහෝ සතුට ඉපදවීමි.
’’එහි සිත පහදවා ශ්‍රමණයෙකු වෙත එළඹුනෙමි. මම ඒ භික්‍ෂුවට වැඳ ධජයෙහි විපාක විමසීමි.
’’හෙතෙම මාගේ මහත් ප්‍රීතිය ඇතිකරණ (අනුසස්) මට මෙසේ කීය. (කෙසේද යත්?) හැම කල්හි ඒ ධජයාගේ විපාකය අනුභව කරන්නෙහිය.
’’ඇත්, අස්, රිය, පාබල යන සිව්රඟ සේනාවෝ නිරතුරුවම ඔබ පිරිවරන්නාහුය. මෙය ධජ දානයාගේ විපාකයයි.
’’සැට දහසක් තූර්‍ය්‍යයෝද මැනවින් අලංකාර කරණ ලද භේරීහුද ඔබ නිරතුරුවම (වැයීමෙන්) පිරිවරන්නාහුය. මෙය ධජ දානයාගේ විපාකයයි.
’’සැරසුන අසූදහසක් (පමණ) ස්ත්‍රීහු විසිතුරු අබරණ ඇත්තාහු, එල්බන ලද මිණි කොඬොල් ඇත්තාහු, දිග ඇසි පිහාටු ඇත්තාහු, සිනා සහිතවූවාහු, මැනවැයි හැඳින්විය යුතු ශරීරාවයව ඇත්තාහ. සිහින් කටී ප්‍රදේශ ඇත්තාහු නිරතුරුවම පිරිවරන්නාහුය. මෙසේ ධජ දානයාගේ විපාකයයි.
’’කල්ප තිස් දහසක් මුළුල්ලෙහි දෙව්ලොවෙහි සිත් අලවා වසන්නෙහිය. ශක්‍ර දේවේන්‍ද්‍රව අසූ වරක් දිව්‍ය රාජ්‍යය කරන්නෙහිය.
’’දහස් වරක් සක්විති රජ වන්නෙහිය. මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ලැබූ වාර ගණන මෙතෙකැයි ගණන් වශයෙන් ගිණිය නොහැක.
’’මින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, ගොත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන්නේය.
’’කුශල මූලයෙන් මෙහෙයන ලදුව, දෙව්ලොවින් චුතව, පුණ්‍ය කර්‍මය හා එක්වූයේ බ්‍රාහ්මණයෙක් වන්නෙහිය.
’’අසූ කෙළක් ධනයද, බොහෝවු දස් කම්කරුවන්ද හැර ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුණෙහි පැවිදි වන්නෙහිය.
’’ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨවූ ගෞතම බුදුරජාණන් වහන්සේ සතුටුකොට නම්න් උපවානයයි බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය’’ යි වදාළ සේක.
’’කල්ප ලක්‍ෂයකට පෙර මා විසින් කරණ ලද කර්‍මය මෙහිදී විපාක දැක්විය. (දුනු දියෙන්) මැනවින් මිදී ගිය හි සැරය මෙන් මාගේ කෙළස් දැවීය.
’’සතර මහා දිවයිනට අධිපතිවූ, සක්විති රජවූ මට හැමකල්හි හාත්පස තුන් යොදුනක් ධජයෝ ඔසවනු ලබත්.
’’මින් කල්ප ලක්‍ෂයකින් පෙරවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ධජ දානයාගේ මේ විපාකයයි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපවාන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
උපවානත්ථෙරස්සාපදානං දුතියං.