ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
3. සුභූති වග්ග
3. සරණාගමනීය ථෙරාපදානය
’’මම චන්‍ද්‍රවතී නගරයෙහි දෙමාපියනට උවටැන් කරන්නෙක් වීමි. එකල මාගේ ඒ අඳ දෙමාපියන් පොෂණය කරමි.
’’එකල්හි මම රහසිගතව හිඳ මෙසේ සිතීමි. (කෙසේද යත්) මම දෙමාපියන් පෝෂණය කරන්නේ පැවිද්ද නොලබමි.
’’මහත්වූ මොහඳුරින් වසන ලදී. (රාග, ද්වේෂ, මොහ යන) ත්‍රිවිධාග්නියෙන් දැවෙත්. මෙබඳු බිය ඇතිවූ කල්හි කිසියම් මාර්‍ග දේශකයෙක් නැත.
’’බුදු රජ තෙම ලොව පහළවිය. සර්‍වඥ ශාසනය බබළයි. පින් කැමති සත්ත්‍වයා (ස්වකීය) ආත්මය ගොඩනගා තබන්නට සමර්ත්‍ථ වන්නේය.
’’තුන් සරණය ඉගෙණ සම්පූර්‍ණ ගෙස රැකීමි. මැනවින් කරණ ලද එම කර්‍මය කරණ කොට ගෙන දුගතියෙන් මිදෙමි.
’’බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකවූ ’’නිසභ’’ නම් භික්‍ෂුවක් විය. මම උන්වහන්සේ වෙත එළඹ සරණාගමණය ගතිමි. (සරණගත වීමි.)
’’එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයුෂ විද්‍යමාණවේ. එපමණ කලක් සරණාගමණය සම්පූර්‍ණ ලෙස රැකීමි.
’’අන්තිම අවස්ථාව පවත්නා කල්හි (මරණ සමයෙහි) එම සරණය සිහි කෙළෙමි. මම එම කර්‍මය කරණකොටගෙන තව්තිසාවට ගියෙමි.
’’දෙව්ලොවට ගියේ, පින්කම් සහයෝගිවූයේ, මම යම් දෙයකට යෙම් නම් අට හේතුවක් (ආනිසංසයක්) ලබමි.
’’(සියළු) දිගුන්හි පුදන ලදුයේ වෙමි. මම තියුණු නුවණැත්තේ වෙමි. සියලු දෙවියෝ (තමාට) අනුව පවතිත්. මම අපමණවූ භෝග සම්පත් ලබමි.
’’මම ස්වර්‍ණ වර්‍ණ වූයේ හැමතන්හිදී (දකින්නවුන්) කැමතිවන කෙනෙක් වීමි. මිතුරන් අතුරෙහි නිශ්චල වෙමි. මාගේ යසස ඉතා උස්ව පැන නැංගේය.
’’ශක්‍ර දේවේන්‍ද්‍රව අසූ වරක් දිව්‍ය රාජයය කරවීමි. අප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ දිව සුව අනුභව කරමි.
’’මම පන් සැත්තෑ වරක් සක්විති රජ වීමි. (ලබන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍ය ගණන් වශයෙන් ගිණිය නොහැකිය. (අපමණය).
’’අන්තිම භවය පැමිණි කල්හි පුණ්‍ය කර්මය හා එක්වුයේ, සැවැත් නගරයෙහි අතිශයින් ආඪ්‍යවූ මහාසාර කුලයෙහි උපන්නේ, සතුටෙන් හා කෙළි සෙල්ලමෙන් යුතුවූ මම සංඝාරාමයට එළඹීමි.
’’එහිදී කෙළෙසුන් කෙරෙන් මිදුනාවූ, උපධි රහිතවූ, භික්‍ෂුවක් දුටුවෙමි. හෙතෙම මට දහම් දෙසීය. (මට) සරණද දුන්නේය.
’’ඒ මම සරණ අසා මාගේ සරණය සිහි කෙළෙමි. එම අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.
’’උත්පත්තියෙන් සත් හැවිරිදි කල්හි රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජාණන් වහන්සේ (මාගේ) ගුණ දැන උපසම්පදා කරවීය.
’’මම මින් අපරිමෙය්‍ය කල්පයකට පෙර සරණ ගතවීමි. ඉක්බිති මා විසින් මැනවින් කරණ ලද (ඒ මාගේ) කර්ම පලය මෙහිදී දැන්වීය.
’’මා විසින් සරණය මැනවින් රක්ණා ලදී. සිත මනාව පිහිටුවාගන්නා ලදී. සියලු යසස් අනුභවකොට නිශ්චලවූ නිර්‍වාණ පදයට පැමිණියේ වෙමි.
’’යමෙකුට ඇසීමෙහි එකඟකම ඇත්තේ නම්, කියන්නාවූ මාගේ වචනය අසව්. මා විසින් (භික්‍ෂුවගේ මාර්‍ග දේශකත්‍වයෙන්) තෙමේම දක්නා ලද ශාන්ත පදය මම තොපට කියන්නෙමි. (කෙසේද යත්?)
’’බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේක. සර්‍වඥ ශාසනය පවතී. සෝ හුල් දුරු කරන්නාවූ අමා බෙරය වයන ලදී.
’’ස්වකීය ශක්ති පමණින් නිරුත්තරවූ පුණ්‍යක්‍ෂෙත්‍රයෙහි කුසල් කරන්නහු නම් නිවණ පහස්නහුය. (ලබන්නාහුය.)
’’තිසරණ ගෙන, පන්සිල් රැක, බුදුන් වහන්සේ කෙරහි සිත පහදවා දුක් කෙළවර කරන්නහුය.
’’මා උපමා කොටගෙන සිල් රැක තෙපි සියල්ලෝ නොබෝ කලකින්ම රහත් බවට පැමිණෙන්නාහුයයි කීය.
’’ත්‍රිවිද්‍යා ඇත්තේ, පරසිත් දන්නා නුවණෙහි දක්‍ෂවූයේ, ඎද්‍ධියට පත්වූයේද වෙමි. මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේගේ (ඒ) ශ්‍රාවකතෙම ශාස්තෲන් වහන්සේගේ සිරිපා වඳියි.
’’මම මින් අපරිමෙය්‍ය කල්පයෙහි බුදුරජාණන් වහන්සේ සරණකොට ගියෙමි. දුගතියක් නොදනිමි. (මෙය) සරණාගමනයෙහි ඵලයයි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණාගමනීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තිසරණගමනියත්ථෙරස්සාපදානං තතියං.