ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

3. සුභූති වග්ග

4. පඤ්චසීල සමාදානීය ථෙරාපදානය

’’එකල්හි මම චන්ද්‍රවතී නගරයෙහි බැලයෙක් (බැලයට මෙහෙකරන්නෙක්) වීමි. අනුන්ගේ කටයුතු කිරීමෙහි යෙදුනාවූ පැවිද්ද නොලබමි.

’’මහත්වූ මොහාන්‍ධකාරයෙන් වසන ලදී. (රාග, ද්වේෂ, මොහ යන) ත්‍රිවිධාග්නියෙන් දැවෙත්. මම කවර නම් උපායයකින් (භව දුකින්) වෙන්වුයෙක් වන්නෙම්ද?

’’මා ළඟ දිය යුතු දෙයක් (දෙය්‍ය ධර්මයක්ද) නැත. මම දුක්ඛිතවූ බැලයෙක්මි. මම සම්පූර්‍ණවූ පඤ්චශීලය රකින්නෙම් නම් ඉතා යෙහෙකි.

’’අනවමදර්ශී බුදුරජාණන් වහන්සේගේ නිසභ නම් ශ්‍රාවකයෙක් විය. මම උන්වහන්සේ වෙත එළඹ පඤ්ච ශික්‍ෂාපද (පන්සිල්) ගතිමි.

’’එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයුෂ විද්‍යමානවේ. එපමණ කලක් සම්පූර්‍ණකොට පන්සිල් රැකීමි.

’’මැරෙණ කල පැමිණි කල්හිද දෙවියෝ මා අස්වසත්. (කෙසේද යත්?) ’’නිදුකාණෙනි, ඔබට මේ දහසක් අසුන් යෙදු රථය එළඹ සිටියේය’’ කියායි.

’’අන්තිමක (චුති චිත්තය) පවත්නා කල්හි මාගේ (පඤ්ච) ශීලය සිහි කෙළෙමි. මැනවින් කරණ ලද (ඒ කුශල) කර්‍මය හේතුකොටගෙන මම තව්තිසා දෙව්ලොව ඉපදුනෙමි.

’’ශක්‍ර දේවේන්ද්‍රව තිස් වරක් දිව්‍ය රාජ්‍යය කරවීමි. අප්සරාවන් විසින් පිරිවරනා ලදුව දිව සුව අනුභව කෙළෙමි.

’’මම පන් සැත්තෑ වරක් සක්විති රජ වීමි. (ලබන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙපමණයයි) ගිණිය නොහැක.

’’කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, දෙව්ලොවින් චුතව, වේශාලී නගරයෙහි අතිශයින් ආඪ්‍යවූ මහාසාර කුලයෙහි උපන්නේ,

’’බුදු සසුන බබලද්දී, වස් එළඹෙන කාලයෙහි මගේ මව් තොමෝද, පිය තෙමේද, පංච ශික්‍ෂා පද (පන්සිල්) ගත්තාහුය.

’’(එය) ඇසීම හා සමගම මගේ ශීලයද මම මෙනෙහි කෙළෙමි. එම අසුනෙහිම හිඳ රහත් බවටද පැමිණියෙමි.

’’උත්පත්තියෙන් පස් හැවිරිදි කල්හි රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජතෙම මාගේ ගුණ දැන (මා) උපසපන් කරවීය.

’’මම සම්පූර්‍ණ සිල් රැක, මින් අපරිමෙය්‍ය කල්පයෙහි (සිට) දුගතියකට නොගියෙමි.

’’එම පන්සිල්වල අනුහසින් ඒ මම යසස් අනුභව කෙළෙමි. (එම යසස) කල්ප කෝටියක් මුළුල්ලෙහි කියන්නේ නමුදු ස්වල්පමාත්‍රයක්ම කියන්නේය.

’’මම පන්සිල් රැක අනුසස් තුනක් ලබමි. (කවර නම් අනුසස් තුනක්ද යත්) මම දීර්‍ඝායු ඇත්තේ වෙමි. මහත්වූ භෝග සම්පත් ඇත්තේ වෙමි. තීක්‍ෂණ ප්‍රඥා ඇත්තේද වෙමි.

’’සියලු දෙනාහට (තමාගේ) අධික මාත්‍රවූ ශූර බව ප්‍රකාශ කරන්නාක් මෙන් කුදු මහත් භවයෙහි (සසරෙහි) හැසිරෙමියි මෙම තනතුර ලබමි.

’’අප්‍රමාණවූ ශීලයන්හි (රැකීම් වශයෙන්) පවත්නා බුද්‍ධ ශ්‍රාවක තෙමේ ඉදින් භවයන්හි රැඳෙන්නේ නම් විපාකය කෙබඳු වන්නේද,

’’විශේෂ දැකුම් ඇති බැලයෙකුවූ මා විසින් පන්සිල් මැනවින් රැස් කරණ ලදී. මම එම ශීලය කරණ කොට ගෙන අද සියළු භව බන්‍ධනයෙන් මිදුනෙමි.

’’මින් අපරිමෙය්‍ය කල්පයෙහි පන්සිල් රැක්කෙමි. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ පන්සිල් (රැකීමේ) විපාකයයි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පංචසීල සමාදානීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පඤ්චසීලසමාදානියත්ථෙරස්සාපදානං චතුත්ථං.