ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
3. සුභූති වග්ග
5. අත්තසංසාවක ථෙරාපදානය
’’(අවන්හල් සහිත) ඇතුළු වීථියෙහි වඩින්නාවූ ස්වර්‍ණවර්‍ණවූ රන් තොරණක් මෙන් බබලන දෙතිස් මහ පුරිස් ලකුණු ඇති, ලොව බබුළුවන්නාවූ, අපමණ ගුණ ඇති, අනූපමවු (උපමා රහිත) දැමුනාවූ, දීප්තිය දරන්නාවූ, සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේ දැක උතුම්වූ ප්‍රීතියක් ලැබීමි.
’’මම බුදුරජාණන් වහන්සේ වැඳ, ඒ මහා මුණීන් වහන්සේ වැළඳවීමි. එකල්හි මා කාරුණීකවූ බුදුරජාණන් වහන්සේ මට අනුමෝදනා (ධර්‍මය දේශනා) කළ සේක.
’’(සත්ත්‍වයාට) උතුම්වූ අස්වැසිලි කරණ ඒ මහා කාරුණීකවූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා මම කල්පයක් ස්වර්‍ගයෙහි සතුටුවීමි.
’’මින් සිව් අනූවන කල්පයෙහි එකල්හි යම් දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. භික්‍ෂා දානයාගේ මේ විපාකයයි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අත්තසංසාවක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
අන්නසංසාවකත්ථෙරස්සාපදානං පඤ්චමං.