ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

3. සුභූති වග්ග

8. උත්තරිය ථෙරාපදානය

’’මම එකල්හි චන්‍ද්‍රභාගා නදී තීරයෙහි (සූ සූ හඬ නගමින් ජලයෙන් උඩට දිය බුබුළු මතු කරණ බැවින් නොහොත් කුඩා මත්ස්‍ය සමූහයා කඩ කඩ කොට මරා දමන බැවින්) සුංසුමාර නම්වූ චණ්ඩ මත්ස්‍යයෙක් (කිඹුලෙක්) වීමි. ගොදුරු සෙවීමෙහි නිරතවූ මම නදී තීර්ත්‍ථයකට පැමිණියෙමි.

’’එසමයෙහි තෙමේම සියල්ල අවබෝධ කළාවූ, අග්‍ර පුද්ගලවූ ඒ සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේ ගඟ තරණය කරණු කැමැත්තෝ නදී තීර්ථයට පැමිණි සේක.

’’බුදුරජාණන් වහන්සේ එළඹි කල්හි මමද එහි ගියෙමි. එළඹ තථාගතයන් වහන්සේට මෙම වචනය කීමි. කෙබඳු වචනයක්ද යත්?

’’මහා වීරයන් වහන්ස, නගිනු මැනව. මම ඔබ (ගඟින්) එතර කරවන්නෙමි. (මේ ජලය) මාගේ පරම්පරාවෙහිවූ ගෝචරයයි.’’

’’මාගේ ගිගුම් හඬ (ආරාධනය) අසා බුදුරජාණන් වහන්සේ (මාගේ පිටෙහි) නැගුන සේක. සතුටු සිතින් පිනා ගියේ ලෝකනාථයන් වහන්සේ එතෙර කෙළෙමි.

’’ගඟ පරතෙරෙහිවූ සිද්‍ධාර්ථ බුදුරජතෙම එහිදී මා අස්වැසීය. (කෙසේද යත්?) නිවණට පැමිණෙන්නෙහිය. (කියායි).

’’මම එම කයින් චුතව දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. දිව්‍යප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ දිවසුව අනුභව කෙළෙමි.

’’මම ශක්‍ර දේවේන්‍ද්‍රව සත්වරක් දිව්‍ය රාජ්‍යය කෙළෙමි. තෙවරක් පෘථිවීශ්වරවූ සක්විති රජ වීමි.

’’මම විවේකයෙහි යෙදුනේ, ප්‍රඥා ඇත්තේ, මැනවින් සංවරණයවූ ඉඳුරන් ඇත්තේ, සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි මේ අන්තිම ශරීරය දරමි.

’’මින් සිව් අනූවන කපෙහි යම් බුදුවරයෙක් (ගඟින්) එතර කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (එම) එතර කිරීමෙහි මේ විපාකයයි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උත්තරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

උත්තියත්ථෙරස්සාපදානං අට්ඨමං.