ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

4. කුණ්ඩධාන වග්ග

1. කුණ්ඩධාන ථෙරාපදානය

’’සතියක් (නිරෝධ සමාපත්තියට සමවැදී) විවේකයෙන් සිටි සියල්ල තෙමේම අවබෝධ කළාවූ අග්‍ර පුද්ගලවූ (පදුමුත්තර) බුද්ධ ශ්‍රේෂඨයන් වහන්සේ වෙත එළඹීමි.

’’මම (නිරෝධ සමාපත්තියෙන්) නැගී සිටි මහා මුනිවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට (දානය පිළිගැන්වීමට) සුදුසු කළැයි දැන මහත්වූ කෙසෙල් කැණක් ගෙන එළඹියෙමි.

’’ලොකනායකවූ, මහා මුනිවූ, භාග්‍යවතුන් වහන්සේ එම පලය (කෙසෙල් කැණ) පිළිගෙන මාගේ සිත පහදවන සේක් වැළඳු සේක.

’’(තමාට වැඩි කෙනෙකුන් නැති බැවින්) සත්ත්‍වයන් සසර කතරින් එතෙර කරණ බැවින් සාර්ත්‍ථවාහකයෙකු වැනිවූ බුදුරජාණන් වහන්සේ වළඳා ස්වකීය අසුනෙහි වැඩ හිඳ, මෙම ගාථාවන් වදාළ සේක.

’’මෙම පර්‍වතයෙහි රැස්වූ යම් යක්‍ෂ කෙනෙක් වෙසෙත් නම් (ඔවුහුද), අරණෙහි (මෙම ධර්‍මයට සුදුසු අනිකුත්) භූතයෝද මාගේ වචනය අසත්වා!

’’ඒ යමෙක් කේශර සිංහයෙකු මෙන් සර්‍වඥවූ මා වෙත එළඹියේද, මම ඔහු (කවරෙක්දැයි) ප්‍රකාශ කරන්නෙමි. (එය) කියන්නාවූ මාගේ වචනය අසව්.

’’ඒ මේ තැනැත්තේ එකොළොස් වරක් ශක්‍ර දේවේන්‍ද්‍ර වන්නේය. සූතිස් වරක් සක්විති රජ වන්නේය.

’’කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, ගොත්‍රයෙන් ගෞතම නම් ශාස්තෲ තෙම ලොව පහළ වන්නේය.

’’සිල්වත් රහත් භික්‍ෂූන්ට ආක්‍රොශකොට එම පාප කර්‍මයාගේ විපාකයෙන් (කුණ්ඩවධාන යන) නමක්ද ලබන්නේය.

’’හෙතෙම ඒ (ගෞතම) බුදුරජාණන් වහන්සේගේ ධර්‍මයට දායාදවූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ නම්න් කුණ්ඩවධාන නම් ඖරස (බුද්‍ධ) පුත්‍රවූ ශ්‍රාවකයෙක් වන්නේය.’’ (කියායි.)’’

’’මම ප්‍රකර්‍ශ විවේකයෙහි යෙදුනේ, ධ්‍යාන කරණ සුළුවූයේ, ධ්‍යානයෙහි ඇළුනේ, ශාස්තෲන් වහන්සේ සතුටුකොට, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’අග්‍ර ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලද, භික්‍ෂු සංඝයා විසින් පෙරටු කරණ ලද, සර්‍වඥ තෙම බික් සඟන මැද හිඳ සලාක ගැන්වීය.

’’සිව්රු සකස්කොට ලෝකනායකවූ බුදුරජාණන් වහන්සේට වැඳ තථාගතයන් වහන්සේ ඉදිරියෙහිදීම පළමුකොටම (සළාක) ගතිමි.

’’එම කර්‍මය කරණකොටගෙන දසදහසක් සක්වල කම්පණය කරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද හිඳ අග්‍රස්ථානයෙහි තැබීය.

’’නිර්‍වාණ සංඛ්‍යාත යෝගක්‍ෂෙමයට පමුණුවන ධුරවාහකයා (ගැල්බර උසුලන ගවයා) මාගේ විර්‍ය්‍යයයි. (මම මේ) සර්‍වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි. (අන්තිම ආත්මයයි.)

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුණ්ඩධාන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

කුණ්ඩධානත්ථෙරස්සාපදානං පඨමං.