ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
4. කුණ්ඩධාන වග්ග
2. සාගත ථෙරාපදානය
’’එකල්හි මම නම්න් සෝභිතයයි (ප්‍රකට) බමුණෙක් වීමි. ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයේ ආරාමයට ගියෙමි.
’’එකල්හි පුරුෂොත්තමවූ (පදුමුත්තර) භාග්‍යවත් තෙමේ භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලදුයේ අරම් දොරටුවෙන් නික්ම සිටියේය.
’’දමනයවූ දමනයවුවන් විසින් පිරිවරණ ලද්දාවූ ඒ ලෝකනාථයන් වහන්සේ දුටුවෙමි. (දැක) ස්වකීය චිත්තය පහදවා සතුටු සාමීචි කථා කෙළෙමි. (කෙසේදයත්?)
’’යම්කිසි වෘක්‍ෂ කෙනෙක් වෙත් නම් ඒ සියලු වෘක්‍ෂයෝ පොළොවෙහි වැඩෙත්. ඒසේම බුද්‍ධිමත් සත්ත්‍වයෝ සර්‍වඥ ශාසනයෙහි වැඩෙත්.
’’සප්‍රාඥවූ, මහර්ෂිවූ බුදුරජාණන් වහන්ස! (ඔබ වහන්සේ) බොහෝ ජනයා විෂයෙහි (සසර කතරින් සත්ත්‍වයා එතෙර කරණ බැවින්) සාර්ත්‍ථවාහකයෙක් වෙහිය. ඔබ නොමගින් නගා (සත්ත්‍වයාට) මග කියන්නෙහිය.
’’(එසේම ඔබ තෙමේ) දැමුනේ දමනය වූවන් විසින් පිරිවරණ ලද්දෙහිය. ධ්‍යාන කරණ සුළුවූයේ ධ්‍යානයෙහි ඇළුණවුන් විසින්ද, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ නිවණ කරා මෙහෙයූ සිත් ඇත්වුන් විසින්ද, උපශාන්තවූවන් විසින් හා තාදී ගුණ යුක්තවූවන් විසින්ද (පිරිවරණ ලද්දෙහිය.)
’’පිණින් හා නුවණින් යුත් පිරිස කරණකොටගෙන අලංකාරවූයේ හොබනෙහිය. හිරු උදාවන කල්හි මෙන් ඔබගේ ප්‍රභාව පැතිරේ. (ය කියායි.)
’’මහර්ෂීවූ පදුමුත්තර බුදුරජතෙම පහන් සිත් ඇති (මා) දැක බික් සඟන මැද හිඳ මේ ගාථාවන් වදාළ සේක. (කෙසේද යත්)
’’යම් බමුණෙක් තෙම සතුටු සිත් උපදවා මා වර්‍ණනා කෙළේද, හෙතෙම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේය.
’’කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, තුෂිත දිව්‍ය ලෝකයෙන් චුතව ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේය.
’’මැනවින් කරණ ලද එම පුණ්‍යකර්‍මය කරණකොටගෙන රහත්බව ලබන්නේය. (නම්න්) සාගත නම්වූ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.’’ කියායි.
’’සසුනෙහි පැවිදිව කයින් පවුකම් දුරුකළෙමි. වාග් දුශ්චරිතය හැර දිවි පැවැත්ම පිරිසිදු කළෙමි.
’’මෙසේ වසන්නාවූ මම තෙජොධාතූන්හි දක්‍ෂවූයේ, (සියළු ආශ්‍රවයන්) ප්‍රහාණ පරිඥා වශයෙන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව වෙසෙමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සාගත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සාගතත්ථෙරස්සාපදානං දුතියං.