ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
4. කුණ්ඩධාන වග්ග
3. මහාකච්චායන ථෙරාපදානය
’’පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ පදුම නම් චෛත්‍යයක් විය. (එහි) ගල් අසුනක් කරවා ස්වර්‍ණාලේප කරවීය.
’’ස්වර්‍ණමය ඡත්‍රයක්ද, වල්විදුනාවක්ද ගෙන ලෝකබන්ධුවූ, තාදී ගුණ ඇති බුදුරජාණන් වහන්සේට නගා තැබීමි.
’’එකල්හි භූමිය ඇසුරු කළාවූ යම්තාක් දෙවියෝ වෙත්නම් සියල්ලෝම රැස්වූහ. (කුමකටදයත්?) ස්වර්‍ණමය ඡත්‍රයාගේ විපාකය වදාරන්නේය. එසේ වදාරන්නාවූ බුදුරජාණන් වහන්සේගේ ඒ සියලු කථාව අසන්නෙමු. සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි වැඩියක් සතුට උපදවන්නෙමුය කියායි.
’’සියළු දතයුතු දෑ තෙමේම දන්නාවූ, අග්‍ර පුද්ගලවූ, බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලදසේක්, ස්වර්‍ණාසනයෙහි හිඳ මෙම ගාථාවන් වදාළ සේක.
’’යමෙකු විසින් ස්වර්‍ණ රත්නමයවූ (සත් රුවනින් කරණ ලද) මෙම අසුන පුදන ලදද, ඔහු (කවරෙක්දැයි) මම ප්‍රකාශ කරන්නෙමි. (එය) පවසන්නාවූ මාගේ වචනය අසව්.
’’තිස් කපක් මුළුල්ලෙහි ශක්‍ර දේවේන්‍ද්‍රව දිව්‍ය රාජ්‍යය කරන්නේය. හාත්පස යොදුන් සියයක් ප්‍රභාවෙන් යටපත් කරන්නේය.
’’මිනිස් ලොව අවුත් උග්‍ර තේජස් ඇති නම්න් ප්‍රභාස්වර නම්වූ, සක්විති රජෙක් වන්නේය. (මෙම) ක්‍ෂත්‍රිය තෙමේ උදාවූ සුර්‍ය්‍යයා මෙන් දිවා රෑ දෙක්හිම හාත්පස අට රියනක් (තැන්) බබුලුවන්නේය.
’’(මින්) කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම් වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.
’’කුශලමූලයෙන් මෙහෙයෙන ලද්දාවූ මම තුසී පුරයෙන් චුතව, නම්න් කච්චායන නම්වූ බමුණෙක් වන්නේය.
’’හෙතෙම පසුව පැවිදිව, ආශ්‍රව රහිතවූ රහත් කෙනෙක් වන්නේය. ලොව බබුළුවන්නාවූ ගෞතම බුදුරජ තෙමේ (හේ) අග්‍රස්ථානයෙහි තබන්නේය. (කෙසේද යත්)
’’(මෙතෙම) සඞ්ක්‍ෂිප්ත ලෙස විචාරණ ලද ප්‍රශ්ණය විස්තර වශයෙන් කියන්නේය. ඒ ප්‍රශ්ණය (විස්තරකොට) කියන්නේද, (අසන්නාගේ) අදහස සම්පූර්ණ කරන්නේය’’ (කියායි.)
’’ආඪ්‍ය කුලයෙහි උපන්නාවූ, මන්ත්‍ර විෂයයෙහි පරතෙරට ගියාවූ, බ්‍රාහ්මණයෙකුවූ (මම) ධන ධාන්‍යයන් අතහැර දමා අනගාර්‍ය්‍ය නම් සසුනෙහි පැවිදිවීමි.
’’මම සංක්‍ෂිප්ත ලෙස විචාරණ කල්හිදු විස්තර වශයෙන් කියමි. (විචාරන්නාවූ) ඔවුන්ගේ අදහස් සම්පූර්ණ කරමි. විපදෝත්තමවූ බුදුරජාණන් වහන්සේ සතුටු කරමි.
’’මා විසින් තුටු කරණ ලද්දාවූ, මහා වීරවූ, සියල්ල තෙමේම දක්නාවූ, අග්‍ර පුද්ගලවූ (ජ්‍යෙෂ්ඨ බුදුරජ තෙම) බික් සඟන මැද හිඳ මා එතදග්‍රස්ථානයෙහි තැබීය.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මහා කච්චායන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
මහාකච්චානත්ථෙරස්සාපදානං තතියං.