ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
4. කුණ්ඩධාන වග්ග
4. කාළුදායී ථෙරාපදානය
’’මම එකල්හි ලොක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති, මහමගට පිළිපන්, චාරිකාවෙහි හැසිරෙන්නාවූ, ශාස්තෘවූ, පදුමුත්තර බුදුරජාණන් වහන්සේට මැනවින් පිපුණු පියුම්ද, උපුල්ද, බෝලිද්ද ආහාර (දානය) ද ගෙන (එහි) ගියෙමි.
’’මහාවීර තෙම උතුම් ආහාරය වූ මනා භෝජනය වළඳයි. ඒ මල්ද ගෙන මහජනයාට දැක්වීය. (කෙසේද යත්?)
’’(මේවා) ලෝකයෙහි ඉෂ්ටවූ, මනවඩන්නාවූ, ප්‍රියවූ උතුම් ජලජ (ජලයෙහි හටගන්නාවූ) පුෂ්පයෝ වෙති. යමෙක් තෙම මට මේ මල් දුන්නේද, ඔහු විසින් ඉතා දුෂ්කර පින්කමක් කරණ ලදී.
’’යමෙක් මට මල් නගා දුන්නේද, උතුම්වූ ආහාරය දුන්නේද, ඔහු (කවරෙක්දැයි) මම කියන්නෙමි. කියන්නාවූ මාගේ වචනය අසව් (කෙසේදයත්?)
’’හෙතෙම අටලොස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. එකෙණෙහි ඔහුගේ පුණ්‍ය විපාකයෙන් උපුල්ද, පියුම්ද, බෝලිද්දද, එයටද වැඩි දිව්‍යමය සුගන්‍ධයෙන් යුතුව අහසෙහි වියනක් කොට දරන්නේය.
’’පස්විසි වරක් සක්විති රජ වන්නේය. පන්සිය වරක් පෘථිවි රාජ්‍යය ලබා පොළොවෙහි වසන්නේය.
’’(මින්) කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම් වූ, ශාස්තෘතෙම ලොව පහළවන්නේය.
’’කුශල මූලයෙන් මෙහෙයන ලද ස්වකිය කටයුතු පටන්ගත් හෙතෙම ශාක්‍යයින්ගේ සතුට ඇතිකරන්නාවූ නෑ සබඳකම් ඇත්තෙක් වන්නේය.
’’කුශලමූලයෙන් මෙහෙයන ලද හෙතෙම පසුව පැවිදිව සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.
’’ලොක බන්ධුවූ ගෞතම බුදුරජාණන් වහන්සේ පැමිණි (සිව්) පිළිසිඹියාවන් ඇතිකරණලද කටයුතු ඇති ආශ්‍රව රහිතවූ හේ අග්‍ර පදවියෙහි ගබන්නේය. (කෙසේද යත්?)
’’වීර්‍ය්‍ය වැඩූ, නිවණ කෙරහි මෙහෙයූ සිත් ඇති, උපශාන්තවූ, උපධි රහිතවූ, හෙතෙම නම්න් උදායී නම් වූ බුද්‍ධශ්‍රාවකයෙක් වන්නේය කියායි.
’’රාගයද, ද්වේෂයද, මොහයද, මක්ඛය (ගුණමතු බව) ද, විනාශ කරණ ලදුයේ, සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥාවෙන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව වෙසෙමි.
’’කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, ප්‍රඥාවත්වූ, මම බුදුරජාණන් වහන්සේ සතුටු කෙළෙමි. ප්‍රමුදිතවූ බුදුරජ තෙම මා අග්‍ර පදවියෙහි තැබීය.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාළුදායී තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
කාළුදායීථෙරස්සාපදානං චතුත්ථං.