ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

4. කුණ්ඩධාන වග්ග

5. මොඝරාජ ථෙරාපදානය

’’සියල්ල තෙමේම දැනගත්තාවූ, අපරාජාතවූ, (පස්මරුන් දිනූ) අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලදුයේ වීථියට පිළිපන් සේක.

’’මම ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයේ ගෘහයෙන් නික්මුණෙමි. නික්ම ඒ ලෝකනාථයන් වහන්සේ දුටුවෙමි.

’’සිරසෙහි ඇඳිලි බැඳ, බුදුරජුන් වැඳ, සිය සිත පහදවා, ලෝකනාථයන් වහන්සේ (හා) පිළිසඳර කථා කෙළෙමි. (කෙසේදයත්?)

’’යම් පමණ රූපාවචර බ්‍රහ්මලෝක වාසී සත්ත්‍වයෝ වෙත්ද, එසේම අරූපාවචර බ්‍රහ්මලෝක වාසී සත්ත්‍වයෝද, අසංඥතල සත්ත්‍වයෝ වෙත්ද, ඒ සියල්ලෝ ඔබ වහන්සේගේ ඤාණයෙහි ඇතුළත් වෙත්. (ඔබ වහන්සේගේ නුවණට ඔවුන් පෙනෙත්.)

’’යමෙක් කුඩා සිදුරු ඇති දැලක් දියෙහි දමන්නේ නම් (එවිට) දියෙහි කිසියම් ප්‍රාණී කෙනෙක් වෙත්ද? (ඔවුහු) ඇතුලෙහි වෙත්.

’’රූපී සත්ත්‍වයන් පිළිබඳවූ හෝ, අරූපී සත්ත්‍වයන් පිළිබඳවූ යමෙකුගේ චේතනාවක් ඇත්නම්, ඒ සියළු චේතනාවෝ ඔබ වහන්සේගේ නුවණෙහි ඇතුළත් වෙත්.

’’අඳුරෙන් ගැවසීගත් මේ ලෝකයා (ඔබ) නගා සිටුවූයෙහිය. ඔවුහු ඔබ වහන්සේගේ ධර්‍මය අසා සැකය නැමැති සැඩ පහර තරණය කෙරෙත්.

’’ලෝකවාසී සත්ත්‍ව තෙමේ අවිද්‍යාව විසින් වසා ගන්නා ලදී. (මොහ) අන්‍ධකාරය විසින් වෙළාගන්නා ලදී. ඔබ වහන්සේගේ නුවණ බබළන කල්හි (ලෝ වැස්සෝ) නසන ලද මෝහාන්‍ධකාර ඇත්තෝ වෙත්.

’’’’ඔබ සියළු දෙනාගේ මහා මොහාන්‍ධකාරය දුරුකරන්නාවූ ඇසක් වෙහිය. බොහෝ ජන තෙමේ ඔබ වහන්සේගේ ධර්‍මය අසා (කෙළෙස් ගින්න) නිවා ගනී.

’’නිදොස්වූ ඛුද්දක මධු සැළියක් පුරවා දෙහොතින් ගෙන ගොස් බුදුරජාණන් වහන්සේට පිළිගැන්වීමි.

’’මහර්ෂීවූ, මහාවීරවූ, (අත්‍ථදස්සී) බුදුරජ තෙම ඒ මී අනුභවකොට අහසට නැංගේය.

’’අහසෙහි සිටියාවූ, නරශ්‍රෙෂ්ඨවූ, අත්‍ථදස්සී ශාස්තෘතෙම මාගේ සිත පහදවමින් මෙම ගාථාවන් දෙසීය.

’’මේ (බුද්‍ධ) ඥානය යමෙකු විසින් පසසන ලදද, බුද්‍ධශ්‍රේෂඨතෙමේද (යමෙකු විසින්) තුති කරණ ලදද, හෙතෙම එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන දුගතියකට නොයයි.

’’හෙතෙම තුදුස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. අටසිය වරක් පෘථිවි රාජ්‍යය (කොට) පොළොවෙහි වාසය කරන්නේය.

’’ඉක්බිති පන්සිය වරක් සක්විති රජ වන්නේය. පෘථිවියෙහි අසංඛ්‍ය වාර ගණනක් ප්‍රදේශ රාජ්‍යය කරවන්නේය.

’’වේද හදාරන්නාවූ, මන්ත්‍රධරවූ, වේදත්‍රයෙහි පරතෙරට ගියාවු, (හෙතෙම) ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේය.

’’ගැඹුරුවූ සියුම්වූ අර්ත්‍ථ නුවණින් දැනගන්නේය. (හෙතෙම) නම්න් මෝඝරාජ යයි බුද්ධශ්‍රාවකයෙක් වන්නේය.

’’(සසර කතරින් සත්ත්‍වයන් එතර කරණ බැවින්) අග්‍රසාර්ත්‍ථවාහකයෙකු වැනිවූ ගෞතම බුදුරජ තෙමේ ත්‍රි විද්‍යාවන්ගෙන් යුක්තවූ, කොට නිමවන ලද කටයුතු ඇති, ආශ්‍රව රහිතවූ (හේ) අග්‍ර පදවියෙහි තබන්නේය’’ කියායි.

’’මිනිස් යෙදුම් හැර, භව බැඳුම් සිඳ, සියළු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන, (හැරදමා) ආශ්‍රව රහිතව වෙසෙමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මොඝරාජ තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

මොඝරාජත්ථෙරස්සාපදානං පඤ්චමං.