ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
4. කුණ්ඩධාන වග්ග
8. ආයාගදායක ථෙරාපදානය
’’කථා කරන්නවුන් අතුරෙහි උතුම්වූ සිඛී බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි (මම) සතුටුවූයේ, සතුටු සිතින් ශ්‍රේෂ්ඨ චෛත්‍යය වැන්දෙමි.
’’මම එකල්හි වඩුවන් සමග කථාකොට මුදල් දී සතුටුවූයේ, සතුටු සිතින් දීර්ඝ භෝජන ශාලාවක් කරවීමි.
’’(ඒ හේතුවෙන්) මම අට කපක් නොකඩකොට දෙව්ලොව විසීමි. සෙසු කල්පයන්හි (දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි) මිශ්‍ර ලෙස සැරි සැරීමි.
’’මාගේ කයෙහි විෂ ඇතුළු නොවේ. ආයුධ මා නොනසත්. දියෙහි මම නොමැරෙමි. ආයාග (දීර්‍ඝ ශාලා) දානයාගේ මේ විපාකයයි.
’’ඉදින් මම වැස්ස කැමතිවෙම් නම් මහ වැසි වසින්නේය. දෙවියෝද මාගේ වසඟයට පැමිණෙත්. (ආයාග දානමය) පුණ්‍ය කර්මයාගේ මේ විපාකයයි.
’’මම තිස් වරක් සත් රුවනින් යුක්තවූ සක්විති රජ වීමි. මට කිසිවෙක් නින්දා නොකෙරෙත්. පුණ්‍ය කර්මයාගේ මේ විපාකයයි.
මින් තිස් එක්වන කල්පයෙහි (මම) යම් දීර්ඝ ශාලාවක් කරවීම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. දීර්ඝ ශාලා දානයාගේ මේ විපාකයයි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආයාගදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ආයාගදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.