ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

4. කුණ්ඩධාන වග්ග

9. ධම්මචක්කික ථෙරාපදානය

’’සිද්‍ධාර්ත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මාසනය ඉදිරියෙහි මා විසින් මැනවින් කරණ ලද, නුවණැත්තවුන් විසින් වර්‍ණනා කරණ ලද ධර්ම චක්‍රයක් තබන ලදී.

’’මනොඥවූ (ස්වර්‍ණ) වර්‍ණවූයේ (ස්වර්‍ණ සිවිකාවි) යානද (සේනාපති - මහාමාත්‍යාදී) සේවා භටයන්ද (හස්ති - අශ්ව - රථ නම්) වාහනද ඇත්තේ බබළමි. මා අනුව පවතින්නාවූ බොහෝ දෙනා නිරතුරුවම මා පිරිවරත්.

’’මම හැමකල්හි සැටදහසක් තූර්‍ය්‍යයන්ගෙන් පරිවරණය කරමි. පිරිවර කරණකොටගෙන බබළමි. පුණ්‍ය කර්‍මයාගේ මේ පලයයි.

’’(මින්) සිව් අනූවන කල්පයෙහි මම යම් (ධර්‍ම) චක්‍රයක් තැබූයෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ධර්‍මචක්‍ර දානයාගේ මේ විපාකයයි.

’’මින් එකොළොස්වන කල්පයෙහි නම්න් සහස්සරාජ නම්වූ, ජනාධිපතිවූ, මහත් බල ඇති සක්විති රජවරු අටදෙනෙක් (අට වරකට) වූවාහුය.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මචක්කික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ධම්මචක්කිකත්ථෙරස්සාපදානං නවමං.