ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
43. සකිංසම්මජ්ජක වග්ග
9. සොවණ්ණ කිංකිණිය ථෙරාපදානය
’’සැදැහැයෙන් ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. තපො කර්‍මයෙහි අපෙක්‍ෂිත වූයේ, වැහැරි සිවුරු දරන්නෙක් වීමි.
’’එසමයෙහි ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙමේ මහාජනයා (සසර සයුරින්) තරණය කරමින් ලොව පහළවූහ.
’’දැඩි ව්‍යාධියකින් ඒකාන්තයෙන් මාගේ බලයද ක්‍ෂය විය. බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිකොට වැලිතෙලෙහි උතුම් සෑයක්,
’’කොට මම සතුටු සිත් ඇත්තේ, ඔදවැඩි සිතැත්තේ, සියතින් රන් කිකිණිමල් විසිරවීමි. (පිදීමි.)
’’මම බුදුරජුන් හමුවෙහි මෙන් සෑයට වතාවත් කෙළෙමි. තාදී ගුණ ඇති අත්‍ථදස්සී බුදුරජුන්හට කරන ලද එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන,
’’දෙව්ලොවට ගියේ, මහත්වූ සැප ලබමි. එහි ස්වර්‍ණ වර්‍ණ වූයේ වෙමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මට මනා අබරණින් සරසන ලද ස්ත්‍රීහු අසූ කෝටියකි. ඔහු තුමූ හැම කල්හි මට උවටැන් කෙරෙත්. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’ගැටබෙර (ආදී) සැට දහසක් බෙරද, සංඛයෝද, පණාබෙරද යන භෙරීහු මනොඥ ලෙස නාද කෙරෙත්.
’’සැට වයස් කල්හි පිරිහෙන බල ඇති, ත්‍රිමදගලිත මාතඞ්ග හස්ති කුලයෙහි උපන් ඇත්තුද, මනාකොට සරසන ලද ඇත්තුද අසූහාර දහසක් දෙනා වෙති.
’’රුවන් දැල්වලින් ගැවසීගත්තේ මට උවටැන් කෙරෙත්. බල සෙනගෙහිද, ඇත්තුන්ගේද අඩුබවක් මට නැත.
’’මම රන්කිකිණි මල් පිදීමෙහි විපාකය අනුභව කරමි. අට පණස් වරක් දිව්‍ය රාජ්‍යය කරවීමි.
’’මම එක් සැත්තෑ වරක් සක්විති රජ වීමි. මම මේ පෘථිවියෙහි පෘථිවි රාජ්‍යයද සියක් වරක් කරවීමි.
’’ඒ (මම) දැන් අසංස්කෘතවූ, සුදුස්සද (දැකීමට අතිශයින් දුෂ්කරවූ) නිවණට පැමිණියේ වෙමි. සියළු සංයෝජනයන් ක්‍ෂය කරන ලදුයේ වෙමි. දැන් නැවත ඉපදීමක් නැත.
’’මින් අටලොස් සියවන කපකින් පෙර යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සොවණ්ණ කිංකිනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සොවණ්ණකිඞ්කණියත්ථෙරස්සාපදානං නවමං.