ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
43. සකිංසම්මජ්ජක වග්ග
10. සොණ්ණ කොන්තරික ථෙරාපදානය
’’සිත්හි භාවනාවක් ලෙස වැඩිය යුතුවූ, ආත්මය (සිත) දමනය කළාවූ, සන්හුන්වූ, ශ්‍රේෂ්ඨ ප්‍රතිපදා මාර්‍ගයෙහි ගමන් කරන්නාවූ, චිත්ත ව්‍යපසමයෙහි ඇලුනාවූ, සියල්ල අවබෝධ කළාවු,
’’තරණය කරණ ලද චතුරෝඝ ඇති, ධ්‍යාන කරන්නාවූ, ධ්‍යානයෙහි ඇලුනාවූ, මොනෙය්‍ය ගුණයන්ගෙන් යුතුවූ, වැඩහුන්නාවූ සමාධියට සමවැදුනාවූ, උපුල් පෙති පැහැ ඇති සම්බුදුරජුන් (දුටිමි.)
’’(දැක) ලබු කැටයකින් දිය ගෙන බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. බුදුරජුන්ගේ සිරපා දොවා මම ලබුකැටය දුනිමි.
’’පදුමුත්තර බුදුරජතෙමේ මෙම ලබු කබලින් දිය ඉවත්කොට මාගේ පාමුල තබවයි අණකළ සේක.
’’මම බුද්‍ධ ගෞරවයෙන් යහපතැයි පිළිවදන් දී, ලබු කබලින් දිය ඉවත්කොට බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වෙත එළඹීමි.
’’මහාවීරවූ බුදුරජතෙමේ මට ’’ලබු කබල් දනින් තාගේ අදහස් සමෘද්‍ධවේවා’’ යි මාගේ සිත නිවමින් අනුමෝදනා කළ සේක.
’’මම පසළොස් කපෙක්හි දෙව්ලොව සිත් අලවා විසීමි. (මම) තිස්වරක් සක්විති රජ වීමි.
’’දවල්හි හෝ, රැයෙහි හෝ, සක්මන් කරන්නාවූද, සිටින්නාවූද, මාගේ ඉදිරියෙහි රන් කෙණ්ඩියක් ගෙන (කිසිවෙක්) සිටිත්.
’’ බුදුරජුන්හට ලබුකබලක් පුදා රන් කෙණ්ඩියක් ලබමි. තාදී ගුණ ඇති උතුමන් කෙරෙහි ස්වල්ප වශයෙන් කරන ලද පිණද මහත් බල වේ.
’’මින් සියක් දහස්වන කපෙහි වු එකල්හි යම් ලබුකබල් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ලබුකබල් දනෙහි මේ විපාකයයි.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සොණ්ණ කොන්තරික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සොණ්ණකොන්තරිකත්ථෙරස්සාපදානං දසමං.
සකිංසම්මජ්ජකවග්ගො තෙචත්තාලීසමො.