ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
44. එක වීහාරීය වග්ග
1. එක වීහාරීය ථෙරාපදානය
’’මේ මහා භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ කුලයෙහි ජාතවූ, මහත් යසස් ඇති, කථා කරනවුන් අතරෙහි ශ්‍රේෂ්ඨවූ, ගෝත්‍රයෙන් කාශ්‍යප නම්වූ (බුදුරජ තෙම) ලොව පහළවූහ.
’’(මම සර්‍වඥතෙම) ප්‍රපඤ්ච (කෙළෙස්) විරහිතය. අරමුණු නිත්‍ය, ශුභ ආදී වශයෙන් නොගන්නෙක. (මෛත්‍රීයෙන්) ආකාශය හා සම සිත් ඇතියෙක. ශුන්‍යතාලක්‍ෂණවූ නිවණ අරමුණු කිරීම බහුලකොට ඇත්තෙක. තාදී ගුණ ඇතියෙක. අනිමිත්ත ලක්‍ෂණවූ නිවණෙහි ඇළුනෙක. චිත්ත වශිතාවෙන් යුතු කෙනෙක.
’’(අරමුණුවල) නොඇලෙන සිත් ඇත්තෙක. කෙළෙස් නැත්තෙක. කුලයා කෙරෙහිද, ගණයා කෙරෙහිද නොගැටුනු කෙනෙක. මහා කරුණාවෙන් යුතු කෙනෙක. වීර ගුණ ඇති කෙනෙක. හික්මවීමෙහිවූ උපායෙහි දක්‍ෂයෙක.
’’අනුන්ගේ කටයුතුවල යෙදුනෙක. කුරවි කොවුලනට බඳු හඬ ඇති කෙනෙක. ලෝකයෙහි අනාථයනට නාථවූවෙක. බඹගොස ඇතියෙක. (සසර කතරෙහි) මංමුළාවූ (යහමගට පමුණුවන) නායකයෙකු නැති (දුඃඛිතයන්) සංසාර මහා දුර්‍ගයෙන් ගොඩලමින්, දුර්ගති නමැති මඩ වියලන්නාවූ, නිර්‍වාණගාමී මාර්‍ගයවූ, ජරා මරණ වලක්වන්නාවූ, උතුම් අස්වැසිල්ලවූ, අමෘතවූ නිර්‍මල ධර්‍මය දේශනා කරන්නාවූ, ඒ මහා පිරිස් මැද වැඩහුන්නාවූ, ලෝකයා සසර සයුරින් එතර කරන්නාවූ, තථාගතවූ ලෝකනායක තෙම මා විසින් දක්නා ලදී. උන්වහන්සේගේ ධර්‍මය අසා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
’’එකල්හි මම පැවිදිව බුදුසසුන ගැන සිතමින් (පැවිද්ද පළමු තුබූ) සංසර්‍ගය (සිහිව ඉන්) පෙළෙමින් රම්‍යවූ වනයෙහි හුදකළාවම විසීමි.
’’(කුලයා කෙරෙන්ද, ගණයා කෙරෙන්ද) වෙන්වූ සිත් ඇති, සංසර්‍ගයෙහි භය දක්නාවූ මාගේ ස්වකීය කයද (ජනයා කෙරෙන්) වෙන්විය. නිර්‍වාණ හේතුවූ මාර්‍ගයද මට ඇතිවිය.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එක වීහාරීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
එකවිහාරිකත්ථෙරස්සාපදානං පඨමං.