ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

44. එක වීහාරීය වග්ග

2. එක සංඛිය ථෙරාපදානය

’’විපස්සී බුදුරජුන්ගේ මහා බෝධි පූජාවක් විය. මහජනයා රැස්ව උතුම් බෝධියට පූජා කෙරෙත්.

’’යම් ශාස්තෘවරයෙකුගේ බෝධියද මෙබඳු පූජනීය වස්තුවක් නම්, ඒ උතුමා ලාමක කෙනෙකැයි නොහඟිමි. බුද්‍ධ ශ්‍රේෂ්ඨයෙක් වන්නේය.

’’ඉක්බිති සකක් ගෙන බෝරුක ගෙන එළඹියෙමි. මුළු දවසෙහිම එය පිඹිමින් උතුම් බෝධිය වැන්දෙමි.

’’කරන ලද (එම) පුණ්‍ය කර්‍මය මරණාසන්න කල්හි (මා) දෙව්ලොවට පැමිණවීය. මාගේ සිරුර (අප්‍රාණිකව) වැටිනි. මම දෙව්ලොව සිත් අලවා වසමි.

’’තුටුපහටුවූ, ප්‍රමුදිතවූ සැටදහසක් තූර්‍ය්‍ය (වාදක)යෝ හැමකල්හි මට උවටැන් කෙරෙත්. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’එක් සැත්තෑවන කපෙහි සිව් මහ දිවයින් හා සිව් සයුරු කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූ, සතුරු රජුන් ජයගන්නා සුළුවූ, (විශෙෂයෙන්) ජම්බුවීපයට අධිපතිවූ සුදස්සන නම් (සක්විති) රජෙක් වීමි.

’’යලි (එහි) සප්තාංගීක තූර්‍ය්‍යයෝ හැම කල්හි මා පිරිවරත්. ස්වකීය කර්‍මය අනුභව කරමි. (බෝධි) උපස්ථානයාගේ මේ විපාකයයි.

’’දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම් යම් යෝනියක උපදිම් නම්, මව් කුස පිළිබඳ ගත්තාවූද (මට) හැමකල්හි භෙරීහු වාදනය කෙරෙත්.

’’සම්බුදුරජුන් වෙත එළඹ සම්පත් අනුභවකොට, අතිශයින් ක්‍ෂෙමවූ, ශිවවූ, අමෘතවූ අචල පදය වන නිවනට පැමිණියේ වෙමි.

’’මින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් එක සංඛිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

එකසඞ්ඛියත්ථෙරස්සාපදානං දුතියං.