ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

44. එක වීහාරීය වග්ග

3. පාටිහීර සඤ්ඤක ථෙරාපදානය

’’එකල්හි ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ පදුමුත්තර නම් බුදුරජතෙම රහත් ලක්‍ෂයක් සමග නුවරට පිවිසි සේක.

’’තාදී ගුණ ඇති, උපශාන්තවූ (උන්වහන්සේ) නගරයට පිවිසෙන කල්හි (තුමූම) බැබලුනාහ. එකෙණෙහි මහත් ඝෝෂාවක්ද විය.

’’නගරයට පිවිසෙන්නාවූ බුදුරජුන් ඉදිරියෙහි එම බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් භෙරිවාදයෝ (තුමූම) වීණාවෝ ශබ්ද වූවාහුය. (තුමූම) වැයෙත්.

’’මහා මුනිවූ පදුමුත්තර නම් බුද්‍ධ ශ්‍රේෂඨයන් වහන්සේ නොදකිමි. එහෙත් ප්‍රාතිහාර්‍ය්‍යය දැක ඉන් සිත පැහැදවීමි.

’’බුදුරජතෙම ආශ්චර්‍ය්‍යයකි. ධර්‍මය ආශ්චර්‍ය්‍යයකි. අචෙතනවූ තූර්‍ය්‍යයෝ පවා තුමූව වැයෙත්.

’’මින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් බුද්‍ධ සංඥාවක් ලදු වේද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ සංඥාවගේ මේ විපාකයයි.

’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටිහීර සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පාටිහීරසඤ්ඤකත්ථෙරස්සාපදානං තතියං.