ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

44. එක වීහාරීය වග්ග

4. ඤාණාථවික ථෙරාපදානය

’’කිණිහිරි රුකක් මෙන් දිලිසෙන, ප්‍රදීප වෘක්‍ෂයක් මෙන් බබලන, ස්වර්‍ණයක් මෙන් දීප්තිමත් බුදුරජුන් දිටිමි.

’’මම ධර්‍මකරකයද, වැහැරි සිවුරද, කෙණ්ඩියද තබා, අඳුන් දිවිසම එකක් කොට බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට ස්තූති කෙළෙමි.

’’මහා මුනීන් වහන්ස, (ඔබ) මොහ දැලින් අවුල්වූ ගණඳුරු නසා, නුවණ නමැති එළියද දක්වා, (සසර සයුර) තරණය කෙළේ වෙහිය.

’’මෙම ලෝකයා (සසරින්) ගොඩ දමහිය. ලෝකය යම්තාක්ද, ඒතාක්ද පැතිරීගිය, සියල්ල සහිතවූ අනුත්තර නිර්‍වාණයද (විෂය කොට ඇති) ඔබ වහන්සේගේ නුවණෙහි උපමාවක් නම් නැත.

’’සර්‍වඥයන් වහන්ස, (ඔබට) එම ඥානය කරණකොටගෙන බුද්‍ධයයි කියනු ලැබේ. මහා වීරයන් වහන්ස, සියල්ල පිළිබඳව දැනීම ඇති ඒ සර්‍වඥතා ඥානයද, අනාවරණ ඥානයද වඳිමි.

’’මම මින් සියක් දහස් වන කපෙහි බුද්‍ධ ශ්‍රේෂඨයන් වහන්සේට ස්තූති කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සර්‍වඥතා ඥානයට පැසසීමෙහි මේ විපාකයයි.

’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඤාණාථවික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ඤාණත්ථවිකත්ථෙරස්සාපදානං චතුත්ථං.