ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
5. උපාලි වග්ග
3. භද්දිය ථෙරාපදානය
’’සියලු ලෝකයෙහි අසහාය නායකවූ, මෙත් සිත් ඇති, මහා මුනිවූ, පදුමුත්තර බුදුරජුන් වෙත සියළු ජන සමූහයා එළඹෙයි.
’’සියල්ලෝ නිරුත්තරවූ පුණ්‍ය ක්‍ෂෙත්‍රයෙහි (භික්‍ෂු සංඝයාටද) ශාස්තෲන් වහන්සේට වස්ත්‍රද, සෙනසුන්ද, පාන හා භෝජනද (යන) ආමිෂය දෙත්.
’’මමද දෙවියනට දෙවිවූ, තාදී ගුණ ඇති බුදුරජාණන් වහන්සේට දනක් දෙමැයි බුදුරජාණන් වහන්සේද, අනුත්තරවූ සංඝයාද පවරා,
’’මා විසින් මෙහෙයන ලද්දාවූ ඒ මනුෂ්‍යයෝද, තථාගතයන් වහන්සේද, නිරුත්තර පුණ්‍යක්‍ෂෙත්‍රවූ හුදු භික්‍ෂු සංඝයාද පැවරූහ.
’’කොඳු පලස් අතුරණ ලද්දාවූද, පුළුන් ඇතිරි හා ඝනපුප් එළු ලොම් ඇතිරි අතුරණ ලද්දාවූද, කොමු ඇතිරියෙන් හා කපු ඇතිරියෙන් අතුරණ ලද්දාවූද, ස්වර්‍ණ වර්‍ණවූ පාදයන්හි ව්‍යාළරූප තබා කළ සියක් දහස් මා හැඟින් අසුන් බුදුරජාණන් වහන්සේ සහිත මහා සංඝයාට පැණවීමි.
’’දෙවියනටද දෙවිවූ, නරශ්‍රේෂ්ඨවූ, පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලදුයේ, මාගේ (ගෙ) දොරට එළඹි සේක.
’’ලෝකනාථවූ, යසස් ඇති සම්බුදුරජාණන් වහන්සේට පෙර ගමන් කොට පහන් සිත් ඇත්තෝ සතුටුව ස්වකීය ගෘහය (තුළ)ට වැඩම කෙළෙමි.
’’පහන් සිත් ඇති සොම්නස්වූ (මම) සියක් දහසක් භිෂුන්ද, ලෝක නායකවූ බුදුරජුන්ද, උතුම්වූ ආහාර දානයෙන් සන්තර්‍පණය කළෙමි.
’’පූජාවන් පිළිගන්නාවූ නොහොත් පූජාවනට ගෙයක් බඳුවූ, පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද හිඳ, මෙම ගාථාවෙන් වදාළ සේක. (කෙසේද යත්)
’’යමෙකු විසින් කොඳු පළස් අතුරණ ලද, ස්වර්‍ණ වර්‍ණවූ මෙම අසුන දෙන ලදද, ඔහු (කවරෙක්දැයි) මම කියන්නෙමි. (එසේ) කියන්නාවූ මාගේ (වචනය) අසව්.
’’හෙතෙම සූසැත්තෑ වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. දිව්‍යප්සරාවන් විසින් පිරිවරන ලදුයේ (දිව්‍ය) සම්පත් අනුභව කරන්නේය.
’’දහස් වරක් ප්‍රදේශ රාජ්‍යය (ලැබ), පොළොවෙහිම වසන්නේය. එක් පණස් වරක් සක්විති රජද වන්නේය.
’’සියළු භව යෝනීන්හිදී උසස් කුල ඇත්තේ වන්නේය. කුශල මූලයන් විසින් මෙහෙයන ලද හෙතෙම පසුව පැවිදිව නම්න් ’’භද්දිය’’ නම්වූ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය කියායි.
’’මම විවේකයෙහි යෙදුනේ වෙමි. අරණෙහි දුර සෙනසුන්හි වසන්නේ වෙමි. (මා විසින්) ශ්‍රාමාණ්‍යඵලද ලබන ලදී. අද මම හරණා ලද ක්ලේශ ඇත්තේ වෙමි.
’’ලෝකනායකවූ සර්‍වඥතෙම මා පිළිබඳ සියල්ල දැන භික්‍ෂු සංඝයා මැද හිඳ මා උතුම් පදවියෙහි තැබීය.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් භද්දිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
භද්දියස්ස කාළිගොධාය පුත්තත්ථෙරස්සාපදානං තතියං.