ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
1. බුද්ධ වග්ගය
5. මහාකාශ්‍යප ථෙරාපදානය
’’තාදී ගුණ (අටලෝ දහම්හි නොසැලෙන ගුණ) ඇති පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ (ශාසනයෙහි) ලෝකනාථවූ (ඒ පදුමුත්තර) බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි (දිව්‍ය මනුෂ්‍යයෝ) ශාස්තෲන් වහන්සේට පූජා කෙරෙත්.
’’ජන සමූහයා ඔද වැඩි සිත් ඇත්තාහු අතිශයින් ප්‍රමුදිත වූහ. ඒ බොහෝ සංවේගයන් පවත්නා අතරෙහි මට ප්‍රීතියක් ඇති විය.
’’නෑ මිතුරන් කැඳවා, ’’මහා වීරවූ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඒකාන්තයෙන් පූජාවක් කරමු’’ ය යන මේ වචනය කීමි.
’’ලෝකනාථ බුදුරජාණන් වහන්සේ විෂයෙහි පින් රැස් කිරීම කරන්නෙමුය’’ යි ඔවුහු පිළිවදන් දී මාගේ සතුට වැඩියක්ම ඇති කළාහුය.
’’රියන් සියයක් උස්ව තැනූ තොරණක් මැනවින් කොට රියන් එක්සිය පණහක් පමණ පැතුරුනු විමානයක් ගොඩ නංවන ලදී.
’’එම ප්‍රාසාදයෙහි සිත්තම් කරණ ලද තාලාවචරයන් (හේවිසිකරුවන්) කරණකොට ගෙන (විසිතුරු) කොට සිය සිත උපදවා උත්තම චෛත්‍යය පිදීය.
’’ඇවිලගත් ගිනි කඳක් මෙන්ද, පිපියාවූ ශ්‍රේෂ්ඨ සල් රුකක් මෙන්ද, අහසෙහි විදුලිය මෙන්ද සිව්දිග බබුළුවමි.
’’මම එහි සිත පහදවා බොහෝ කුසල්කොට පෙර කරණ ලද කුශල කර්‍මය සිහි කොට තව්තිසා දෙව්ලොව උපනිමි.
’’යෙදූ දහසක් අශ්වයන් විසින් උසුලන ලද දිව්‍ය යානයට නැගුනේ (වෙමි.) මාගේ උස්වූ භවනය උඩට නැංගේය.
’’දහස් ගණන් කුළු ගෙවල් තනි රනින් කරණ ලදහ. (එම කුළු ගෙවල්) ස්වකීය දීප්තියෙන් සියළු දිගුන් බබුළුවමින් දිලිසෙත්.
’’පද්ම රාග මාණික්‍යමයවූ අන්‍යවූ දොරටුද ඇත්තාහ. එකල්හි එම දොරටුද ශෝභාවෙන් හාත්පස සිව් දිගම බබුළුවත්.
’’පුණ්‍යකර්‍ම බලයෙන් හටගත් මැනවින් නිර්මිත මිණිමුවා කුළු ගෙවල් හාත්පස දස දිගුන් බබුළුවත්.
’’බබළන්නාවූ මොවුන්ගේ ආලෝකය අධික විය. සියලු දෙවියන් ඉක්මවීමි. මේ පුණ්‍යකර්‍මයාගේ ඵලයයි.
’’කල්ප සැට දහසක් මුළුල්ලෙහි උබ්බිද්‍ධ නම්වූ ක්‍ෂත්‍රියයෙක් සිව්මහ සයුර හා සිව්මහ දිවයින කෙළවර කොට ඇති පෘථිවියට අධිපතිවූයේ සතුරු රජුන් ජය ගන්නා සුළුව මම විසීමි.
’’එසේම භද්‍ර කල්පයෙහි තිස් වරක්ම මහත් බල ඇති සක්විති රජ වීමි. ස්වකීය පුණ්‍යකර්‍මයන්හි ඇළුනේම වීමි.
’’එහිද මාහට දිගින් සූවිසි රියන්වූ, පුළුලින් දොලොස් රියන්වූ, විදුලියක් වැනිවූ භවනයක් උස්ව පැන නැංගේය.
’’විශාල පවුරු හා තොරන් ඇති දිගින් (යොදුන්ද) පන්සියයක්වූද, පුළුලින් ඉන් අඩක්වූද, තව්තිසා වාසීන්ගේ දෙව්පුරය වැනි, ජන සමූහයාගෙන් ගැවසීගත් රම්මක නම් නගරයක් විය.
’’යම්සේ හිදිගුලාවෙහි බහන ලද පස් විස්සක් හිදිකටු ඔවුනොවුන් ගැවෙත්. එය එකල්හි ගැවසීගත්තේ වේ.
’’එසේම මාගේ උතුම්වූ රම්මක නගරයද හස්ති අශ්ව රථයන්ගෙන් පිරීගියේ නොයෙක් මිනිසුන්ගෙන් හැම කල්හි ගැවසී ගත්තේ විය.
’’එහි (සම්පත්) අනුභව කොට (මිහිරි රසද) බී යලි දේවත්‍වයට ගියේ මාගේ අන්තිම භවයෙහිද කුලවත්බව ඇතිවිය.
’’මහත්වූ රුවන් සමූහ ඇති බමුණු කුලයෙහි උපන්නේ අසූ කෝටියක් හිරන්‍ය (සම්පත්) හැරදමා පැවිදිවීමි.
[’’මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. යම්සේ හර කැමැත්තාවූ පුරුෂයෙක් තෙම කෙසෙල් ගසක් කපා පලන්නේද, (හෙතෙම) එහි හරයක් නොලබන්නේයි. එය හරයෙන් තොර ගසකි.
’’එසේම ලෝකයෙහි තීර්ත්‍ථකයෝද, නා නා දෘෂ්ඨි ගත් බොහෝ දෙනාද නිවණින් හිස්වූවෝම වෙති. හරයෙන් හිස්වූ කෙසෙල්ගස් මෙනි.
’’අන්තිම භවය පැමිණි කල්හි මම බ්‍රහ්මබන්ධු හෙවත් බ්‍රාහ්මණ කුලයෙහි උපන්නෙක් වීමි. මහත්වූ භොකස්කන්‍ධය හැර අනගාර්‍ය්‍ය නම් ශාසනයෙහි පැවිදිවීමි. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී]
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක.
මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ අපදානය නිමි.