ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
1. බුද්ධ වග්ගය
6. අනුරුද්ධ ථෙරාපදානය
’’මම ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රෙෂ්ඨවූ, විවේකීව වාසය කරන්නාවූ, ලෝකනායකවූ සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේ දුටුවෙමි.
’’මම ලෝකනායකවූ සුමේධ සම්බුදුන් වහන්සේ වෙත එළඹ ඇඳිළි බැඳගෙන බුද්‍ධ ශ්‍රේෂඨයන් (මෙසේ) අයැදීමි.
’’මහා වීරයන් වහන්ස, ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නර ශ්‍රේෂ්ඨයන් වහන්ස, අනුකම්පා කොට වදාළ මැනව. රුක් මුල්හි ධ්‍යාන කරන්නාවූ ඔබ වහන්සේට පහණක් දෙමි.’’
’’සියල්ල තෙමේම දන්නාවූ, කථා කරන්නවුනට ශ්‍රේෂ්ඨවූ, ඒ ප්‍රාඥවූ බුදුරජ තෙම එය ඉවසීය. එකල්හි මම ගස්විද යතුරක් යොදා,
’’දහසක් මැටි දුනිමි. (යෙදීමි.) මාගේ පහන්හු ත්‍රිලෝක බන්‍ධුවූ බුදුරජාණන් වහන්සේට සතියක් දැල්වී නිවී ගියහ.
’’එම චිත්ත ප්‍රසාදයෙන්ද, සිත්හිවූ ප්‍රාර්ත්‍ථනයන්ගෙන්ද මම මිනිස් සිරුර හැර දෙව් විමනක ඉපදුනිමි.
’’දෙව් අත්බැව්හි උපන් මට මැනවින් නිර්මිත විමානයක් විය. (එය) හාත්පසින් ඇවිලේ. මෙය පහන් පූජාවෙහි විපාකයයි.
’’එකල්හි මම හාත්පස යොදුන් සියයක් බැබලීමි. සියළු දෙවියන් අභිභවමි. මෙය පහන් පූජාවෙහි විපාකයයි.
’’ශක්‍රව තිස් කපක් මුළුල්ලෙහි දිව්‍ය රාජ්‍යය කරවීමි. කිසිවෙක් මා ඉක්මවා නොසිතත්. (අවමන් නොකෙරෙත්.) මෙය පහන් පූජාවෙහි විපාකයයි.
’’මම අටවිසි වරක් චක්‍රවර්ති රාජ වීමි. එකල්හි හාත්පස යොදුනක් තැන් දිවා රෑ දෙක්හිම (එකසේ) දකිමි.
’’(ප්‍රඥා) චක්‍ෂුසින් දහසක් සක්වල (ලෝක) දකිමි. සර්‍වඥ සාසනයෙහි (පැවිදිව) දිවැස ලැබූයේද වෙමි. මෙය පහන් පූජාවෙහි විපාකයයි.
’’මෙයින් කල්ප තිස් දහසකට පෙර සුමේධ නම් සම්බුදු රජ තෙම විය. මා විසින් උන් වහන්සේට පැහැදුනු සිතින් පහන් දෙන ලදී.
[’’මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයෝ සමූහනනය (විනාශ) කරණ ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.]
’’මේ සිවි පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී’’
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක.
අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ අපදානය සතරවැනියි.