ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

5. උපාලි වග්ග

9. සුභද්ද ථෙරාපදානය

’’පූජාවන් පිළිගන්නාවූ නොහොත් පූජාවන් (රැස්වන) ගෙයක් වැනිවූ, පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මහා යසස් ඇත්තේ, ජන සමූහයා (සසරින්) නගා සිටුවා පිරිනිවන් පානා සේක.

’’(එම) බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා කල්හි දසදහසක් සක්වල කම්පාවිය. (රැස්වූ) විශාල ජන සමූහයාද විය. එකල්හි දෙවියෝද රැස්වූහ.

’’තුවරලා, බෝලිද්දවලින් පුරවා සතුටුවූයේ, සතුටු සිතින්ම (පරිනිර්‍වාන මඤ්චකයෙහි වැඩ සිටි තථාගතයන් වහන්සේගේ) බුදු සිරුර සඳුන් ආලේප කරවීමි.

’’ලෝකයෙහි නිරුත්තරවූ, ශාස්තෘවූ, සම්බුදු රජ තෙම (පරිනිර්‍වාණ මඤ්චකයෙහි) හෝනේම මාගේ අදහස් දැන මෙම ගාථාවන් වදාළ සේක. (කෙසේද යත්?)

’’යමෙක් මාගේ අන්තිම කාලයෙහි (මා) ගඳ මල්වලින් වැසීද, ඔහු (කවරෙක්දැයි) මම කියන්නෙමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.

’’මේ පුරුෂ තෙමේ මින් චුතව තුෂිත දෙව්ලොවට යන්නේය. හෙතෙම එහි රාජ්‍යකොට නිර්‍මාණරති චෙව්ලොවට යන්නේය.

’’මේ ක්‍රමයෙන් අති උතුම් මල් පුදා පටන්ගත් සිය කටයුතු ඇති හෙතෙම සම්පත් අනුභව කරන්නේය.

’’මේ මිනිස්තෙම නැවත තුෂිත දෙව්ලොව උපදින්නේය. එම ආත්ම භාවයෙන් චුතව මිනිසත් බවට පැමිණෙන්නේය.

’’ශාක්‍ය පුත්‍රවූ, මහෝත්තමවූ, දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර පුද්ගලවූ, පසැස් ඇති ගෞතම බුදුරජ තෙම බොහෝ සත්ත්‍වයනට ධර්‍මාවබෝධය කරවා පිරිනිවන් පාන්නේය.

’’එකල්හි කුශල මූලයන්ගෙන් මෙහෙයන ලදුයේ (අකුශලයන්ගෙන්) වෙන්වූයේ (පරිනිර්‍වාණ මඤ්චකයෙහි වැඩහුන්) බුදුරජාණන් වහන්සේ වෙක එළඹ ප්‍රශ්න විචාරන්නේය.

’’ලෝකනායකවූ, සර්‍වඥවූ, (ගෞතම) බුදුරජතෙම (ජනයා) සතුටුකොට (පෙරකළ) පුණ්‍යකර්‍මයන් පිරිසිඳ දැන සත්ත්‍වයන්ට ප්‍රකට කරන්නේය.

’’(විචාරීමට) පටන්ගන්නා ලද ප්‍රශ්න ඇති, මෙතෙම සතුටුවූයේ, එකඟ සිත් ඇත්තේ, ශාස්තෲන් වහන්සේ වැඳ පැවිද්ද ඉල්ලන්නේය.

’’අග්‍රවූ (චතුරාර්‍ය්‍ය සත්‍යය) ධර්‍මයෙහි දක්‍ෂවූ ඒ සම්‍යක් සම්බුද්ධ තෙමේ, ස්වකීය කර්‍මයෙන් සතුටුවූ, පහන් සිත් ඇති (හේ) දැක පැවිදි කරන්නේය.

’’මේ පුරුෂතෙම බුදු සසුන්හි වීර්‍ය්‍ය වඩා සියළු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය. (කියායි.)

පස්වෙනි බණවරයි.

’’(මම) පෙර (කළ කුශල) කර්‍මයෙන් යුක්තවූයේ, එකඟ සිත් ඇත්තේ, සන්සිඳුනේ, (බුදුන් වහන්සේගේ හෘදයෙහි උපන් අවවාදානුශාසනා අසා රහත්වූ බැවින්) ඖරස පුත්‍රවූයේ (කර්‍මස්ථාන) ධර්‍මයෙන් හටගත් ආර්‍ය්‍ය ජාතියෙන් උපන් කෙනෙක් වෙමි.

’’බුදුන් වහන්සේ වෙත එළඹ උතුම් ප්‍රශ්න විචාළෙමි. මම ප්‍රශ්න (විසඳා) වදාරන්නේ (මා) නිර්‍වාණ නම් ධර්‍ම ප්‍රවාහයට පිවිසියේය.

’’මම මෙසේ උන්වහන්සේගේ ධර්‍මය දැන සසුනෙහි ඇළුනේ විසීමි. සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් (දුරුකොට) ආශ්‍රව රහිතව වෙසෙමි.

’’මින් කල්ප ලක්‍ෂයකට පෙර පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ තෙල් අඩුවීමෙන් (නිවෙන) පහනක මෙන් (පඤ්චස්කන්‍ධ නම්) උපාදාන රහිතව පිරිනිවන් පෑ සේක.

’’(උන්වහන්සේගේ) යොදුන්වූ ස්වර්‍ණමය ස්ථූපයක් විය. එහි සියල්ලෙන් යහපත්වූ මනහර ධජයක් පිදීමි.

’’සර්‍වඥ සාශනයෙහි දායාදීවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ තිස්ස නම් අග්‍ර ශ්‍රාවක තෙමේ මාගේ ඖරස පුත්‍රයා විය.

’’ඒ මාගේ පුත්‍රවූ තිස්ස නම් අග්‍රශ්‍රාවකයන් වහන්සේට ලාමක සිතින් අසුන්දරවූ වචනයක් කීමි. එහි කර්‍ම විපාකයෙන් අවසානයෙහි (පරිනිර්‍වාණ කාලයෙහි) බුදුරජ දුටිමි.

’’මහාවීරවූ, සත්ත්‍ව ලෝකයට හිතවූ, කාරුණීකවූ, පස් මරුන් දිනුවාවූ (ගෞතම) බුදුරජාණන් වහන්සේ උපවර්‍තන ශාල වනයෙහි පරිනිර්‍වාණ මඤ්චකයෙහිදී (හේ) පැවිදි කරවූ සේක

’’බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි දැන් අදම (මාගේ) පැවිද්ද විය. අදම උපසම්පදාව විය. අදම (ක්ලේශ) පරිනිර්‍වාණය විය.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුභද්ද තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සුභද්දත්ථෙරස්සාපදානං නවමං.