ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

5. උපාලි වග්ග

10. චුන්‍ද ථෙරාපදානය

’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති, සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේට තොරණක් කරවා දෑසමන් මලින් වැසීමි.

’’ඒ මල් (වඩා) නිමවා බුදුරජාණන් වහන්සේට පිළිගැන්වීමි. ඉතිරි මල් ගෙන බුදුරජාණන් වහන්සේගේ මතුයෙහි විසුරුවා හැරීමි.

’’පහන් සිතින් යුත් සොම්නස්වූ (මම) රන් ඇගෑවක් සේ බබළන බුදුරජුන්ට මල් ඇගෑව පිළිගැන්වීමි.

’’ඉක්මවූ සැක ඇති බුදුරජාණන් වහන්සේ ඉක්මවූ සැක ඇත්තවුන් (රහතුන්) විසින් පිරිවරණ ලදුයේ මෙම ගාථාවන් වදාළ සේක. (කෙසේද යත්?)

’’යමෙක් මට දිව සුවඳ වහනය වන්නාවූ පල් ඇගෑවක් දුන්නේද, හේතු කවරෙක්දැයි මම කියන්නෙමි. එසේ කියන්නාවූ මාගේ වචනය අසව්.

’’මේ පුරුෂ තෙමේ මින් චුතවූයේ, දිව්‍ය සමූහයා විසින් පිරිවරණ ලදුයේ, සමන් මල්වලින් ගැවසී ගත්තේ දෙව්ලොවට යන්නේය.

’’ඕහට පුණ්‍ය කර්‍මයෙන් හටගත්තාවූ ස්වර්‍ණමයවූද, මණිමයවූද, පැන නැගුණු සඳළු සහිත විමානයක් පහළ වන්නේය.

’’හෙතෙම සූසැත්තෑවරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. දිව්‍යප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ, සම්පත් අනුභව කරන්නේය.

’’තෙසිය වරක් පෘථිවි රාජය්‍ය ලැබ, පොළොවෙහි වාසය කරන්නේය. පන් සැත්තෑ වරක් සක්විති රජ වන්නේය.

’’(සතුරන් විසින්) නොදක්නා ලද නම්න් දුජ්ජය නම් රජෙක් වන්නේය. ස්වකීය කර්‍මයවූ එම පුණ්‍ය (විපාකය) අනුභව කොට

’’දුගතියකට නොගොස් මිනිසත් බවට යන්නේය. රැස් කරණ ලද බොහෝවූ රන් කෙළ සිය ගණන් පහළ වන්නේය. හෙතෙම බ්‍රාහ්මණ කුළයෙහි උපදින්නේය. වඞ්ගන්ත බ්‍රාහ්මණයාගේද, ශාරී බැමිණියගේද, ප්‍රියවූ, ප්‍රාඥවූ ඖරස පුත්‍රයෙක් වන්නේය.

’’හෙතෙමේද පසුව සම්බුදු සසුනෙහි පැවිදිව නම්න් චූලචුන්‍ද නම්වූ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.

’’හෙතෙම සාමණේර වූයේම රහත් වන්නේය. සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.’’) කියායි.

’’මහාවීරවූ බුදුරජාණන් වහන්සේටද අනික් පෙශලවූ බොහෝ සංඝයාටද උපස්ථාන කෙළෙමි. උත්තමාර්ත්‍ථයට (රහත් බවට) පැමිණීම පිණිස මාගේ සොහොයුරු (සාරීපුත්‍ර) හට උවැටැන් කෙළෙමි.

’’මාගේ සොහොයුරාට උවැටැන් (වත් පිළිවෙත්) කොට (උන්වහන්සේ පිරිනිවි කල්හි) ධාතූන් පාත්‍රයෙහි බහාගෙන ලෝකජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ, බුදුරජාණන් වහන්සේට පිළිගැන්වීමි.

’’දෙවියන් සහිත ලෝකයෙහි සර්‍වඥවූ (බුදුරජ තෙම) එය දොහොතින් පිළිගෙන දක්වමින් එය අග්‍රශ්‍රාවක ධාතුයයි පැවසූ සේක.

’’මාගේ ශ්‍රද්‍ධා තොමෝ මැනවින් පිහිටුවන ලද්දීය. මාගේ සිත (කෙලෙසුන්ගෙන්) මැනවින් මිදුනේය. සියළු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව වෙසෙමි.

[’’(මා විසින්) පැමිණෙන ලද ප්‍රතිසම්භිදා ඇත්තෝය. පහස්නා ලද විමොක්‍ෂ ඇත්තෝය. සාක්‍ෂාත් කරණ ලද ෂඩභිඥා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.]

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් චුන්‍ද තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

චුන්දත්ථෙරස්සාපදානං දසමං.

උපාලිවග්ගො පඤ්චමො.