ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

1. බුද්ධ වග්ගය

8. උපාළි ස්ථවිරාපදානය

’’හංසවතී නගරයෙහි රැස්කොට තැබූ අසූකෙළක් ධනය ඇති, සමෘද්ධවූ ධන ධාන්‍ය ඇති, වේද හදාරවන්නාවූ, මන්ත්‍රධරවූ, වේදත්‍රයෙහි පරතෙරට ගියාවූ (අත් පා ආදියෙහි ලකුණු බලා අනාගතය පවසන) ලක්‍ෂණ ශාස්ත්‍රයෙහිද, ඉතිහාසයෙහිද, ස්වකීය බ්‍රාහ්මණ ධර්‍මයෙහිද පරතෙරට ගියාවූ සුජාත නම් බමුණෙක් විය.

’’එකසිඛ (හිසැ එක් සිළුවක් ඇති) පරිබ්‍රාජකයෝද, (මතු ලොව පහළවන) ගෞතම බුදුරජාණන් වහන්සේගේ (අනාගත) ශ්‍රාවකයෝද, (තැනින් තැන හැසිරෙන්නාවූ) චරක තවුසෝද, එකල්හි පොළොවෙහි හැසිරෙත්.

’’ඔවුහුද ප්‍රසිද්ධ බ්‍රාහ්මණයෙකුයි කියා මා පිරිවරත්. බොහෝ දෙනා මා අදහත්. මම කිසිවෙකුට නොපුදමි.

’’යම්තාක් කල් තථාගතයන් වහන්සේ ලොව පහළ නොවන සේක්ද, ඒ තාක් කල් බුද්ධ යන වචනය පවා (ලෙව්හි) නැත. එකල්හි මම මානයෙන් තදවූයේ පිදිය යුත්තෙක් නොදකිමි.

’’රෑ දාවල් (බොහෝ හවුරුදු) ගෙවී යාමෙන් (පසු) පසැස් ඇති පදුමුත්තර නම් ලෝක නායක බුදුරජ තෙම සායලු අඳුරු දුරුකොට ලොව පහළවිය.

’’පැතුරුණු බොහෝ දෙනා විසින් මැනවැයි සම්මතයෙන්වූ (බුදු) සසුනෙහි (ආදී කතෘවූ) බුදුරජ තෙම එකල්හි හංසවතී නගරයට එළඹි සේක.

’’පසැස් ඇත්තාවූ ඒ බුදුරජාණන් වහන්සේ පියාණන්ටත් වැඩ පිණිස ධර්‍ම දේශනා කළ සේක. එකල්හි පිරිසද හාත්පස යොදුනක් (තන්හි පැතුරුණේ) විය.

’’මිනිසුන් අතර සුනන්‍ද නම්න් සම්මතවූයේ ඒ තවුස් තෙමේ එකල්හි යම්තාක් බුදු පිරිසද (ඒතාක් තැන) මල්වලින් වැසීය.

’’පුෂ්ප මණ්ඩපයෙහි සිට බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ චතුස්සත්‍යය දේශනා කරණ කල්හි කෙළ ලක්‍ෂයක් (ප්‍රාණීන්) ට ධර්‍මාභිසමය විය.

’’බුදු රජ තෙම දිව රෑ සතක් (සතිසක්) උතුම් දහම් වැසි වස්වා අටවෙනි දිනය පැමිණි කල්හි බුදු රජ තෙම සුනන්‍දට මෙසේ පැවසූ සේක.

’’මෙතෙම සසරෙහි දෙව්ලොවෙහිද මනුෂ්‍යයන් අතරෙහිද සැරිසරන්නේ භවයන්හිදී සියල්ලන්ට උතුම්ව සැරිසරයි.

’’කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි ජනිතවන ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාක්‍යයන් වහන්සේ ලොව පහළවන සේක.

’’ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්‍මයට දායාද (ධර්‍මයට කොටස් කරුවෙක්) වූ ඖරස පුත්‍රවූ (දහම් අසා සෝවාන් ආදී මාර්‍ග ඵල පිළිවෙළින් රහත්වූයේ බුදු රජුන්ගේ ඖරස පුත්‍රයායි.) ධර්‍මයෙන්ම මවාලුවාක් වැනිවූ පුණ්ණමත්තානිපුත්ත නම් ශ්‍රාවකයෙක් වන්නේය.

’’එකල්හි සම්බුදු රජ තෙම සියලු දෙනා සතුටු කරමින් ස්වකීය බලයද දක්වමින් සුනන්‍ද තවුසාට මෙසේ පැවසූ සේක.

’’ජනයෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුණ්‍ය කර්‍ම කොට තමාගේ ගතිය පිරිසිදු කෙළේයයි සුනන්‍ද තවුසාට කරණ ලද ඇඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.

’’ බුදුරජාණන් වහන්සේගේ වචනය අසා එහි මාගේද අදහස විය. ගෞතම බුදුරජාණන් වහන්සේ යම් පින්කමක් කිරීමෙන් දැකිය හැකි වෙම් නම් මමද (එබඳු) පින්කමක් කරන්නෙමි.

’’මම මෙසේ සිතා මාගේ (ඒ සඳහා) කටයුතු (පින්කම්) ගැනද සිතීමි. නිරුත්තර පුණ්‍යක්‍ෂෙත්‍රයෙහි (රත්නත්‍රයෙහි) මම කවර පින්කමක හැසිරෙම්ද?

’’(සරභඤ්ඤ වශයෙන් ග්‍රන්ථයන් කියවන හෙයින්) පාඨික නම්වූ මේ භික්‍ෂු තෙම බුද්ධ ශාසනයෙහි සියලු මධුර ස්වර පාඨකයන් අතුරෙහිද විනයෙහිද අග්‍රස්ථානය තබන ලදී. මම ඒ තනතුර පතමි.

’’මෙය මාගේ සයුර මෙන් නොකැළඹෙන අප්‍රමාණවූ භෝගයයි. මම ඒ ධනයෙන් බුදුරජාණන් වහන්සේට ආරාමයක් කරවන්නෙමි.

’’නගරයාගේ නැගෙනහිර දිගෙහි සෝභන නම්වූ අරමකි. (එය) ලක්‍ෂයක් මිළට ගෙණ සංඝාරාමයක් කරවීමි.

’’කුළු ගෙවල්ද, ප්‍රාසාදයන්ද, මණ්ඩපයන්ද, සඳළු පන්නා කළ ගෙවල්ද, දොර නොලූ ගුහාවන්ද, සක්මන් මළුද මැනවින් කොට සංඝාරාමයක් කරවීමි.

’’ඩහගන්වන ගෙයද, ගිනිහලද, යලි පැන්හළද, නහන ගෙයද කොට මම සංඝයාට දුනිමි.

’’දික්හඟලා පුටුද, (කුඩා) පුටුද, පරිභෝග භාජනද, ආරාමිකයන්ට දෙන බෙහෙත්ද යන මේ සියල්ල මම දුනිමි.

’’සන්සුන් සිත් ඇති තාදී ගුණ ඇත්තාවුන්ගේ ඒ ගුණයනට කිසිවෙක් පීඩා නොකෙරේවායි ආරක්‍ෂා තබවා දැඩිකොට පවුරක් කරවීමි.

’’ලක්‍ෂයන් ධන වියදමින් සංඝාරාමයෙහි ආවාසයක් කරවීමි. එය උසස් බවට පමුණුවා බුදුරජාණන් වහන්සේට පිරිනැමීමි.

’’මා විසින් ආරාමය කොට නිමවන ලදී. තථාගතයාණන් වහන්ස, ඔබ වන්සේ මෙය පිළිගත මැනවි. වීරයාණන් වහන්ස, (මෙය) ඔබ වහන්සේට දෙන්නෙමි. පසැස් ඇත්තාණන් වහන්ස, (මෙය) පිළිගත මැනවි.

’’පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසුවූ, ලෝක නායකවූ, පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මාගේ අදහස දැන (එය) ඉවසූ සේක.

’’මහර්ෂීවූ සර්‍වඥයන් වහන්සේ (ආරාධනය) ඉවසීම දැන මම භෝජනය පිළියෙළ කරවා (සුදුසු කාලයයි) කාලය ආරෝචනය කෙළෙමි.

’’කාලය දැන්වූ කල්හි පදුමුත්තර ලෝක නායකයන් වහන්සේ රහතුන් වහන්සේ දහසක් විසින් පිරිවරණ ලදුයේ තමාගේ ආරාමයට වැඩි සේක.

’’සුදුසු කාලය දැන වැඩ හුන්නාවූ උන්වහන්සේ ආහාරපානයෙන් තෘප්ත කෙළෙමි. සුදුසු කලැයි දැන වළදා අවසන්වූ උන්වහන්සේට මෙය වචනය කීමි.

’’ලක්‍ෂයක් මිල දී ගන්නා ලද, එපමණම මුදලකින් (සෙසු කටයුතු) කරවන ලද සෝභන නම්වූ ආරාමය බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ පිළිගන්නා සේක්වා.

’’මෙම ආරාම දානයෙන් (ඇතිකරගත්) චිත්ත ප්‍රණිධිය කරණකොටගෙන භවයෙහි උපදින්නාවූ මම මා විසින් පතන ලද්ද ලබම්වා.

’’බුදුරජතෙම මැනවින් කොට නිමවන ලද සංඝාරාමය පිළිගෙන බික් සඟන මැද හිඳ මේ වචනය වදාළ සේක.

’’ඒ යමෙක් තෙම මැනවින් කොට නිමවන ලද සංඝාරාමය බුදුරජාණන් වහන්සේට පූජා කෙළේද මම ඔහු පිළිබඳ තොරතුරු කියන්නෙමි. එය කියන්නාවූ මාගේ වචනය අසව්.

’’ඇත් සේනාවද, අස් සේනාවද, රථ සේනාවද, පාබල සේනාවද (යන) මේ සිව්රඟ සෙනඟ නිරතුරුවම මොහු පිරිවරන්නාහුය. මෙය සංඝාරාම දානයෙහි විපාකයයි.

’’සැට දහසක් තූර්‍ය්‍යද, මැනවින් අලංකාර කළ බෙරද, මා නිරතුරුවම පිරිවරන්නාහුය. මෙය සංඝාරාම දානයෙහි විපාකයයි.

’’මැනවින් අලංකාර කරණ ලද සයාසූ දහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තාහු, එල්බන ලද මිණි කොඬොල් ඇත්තාහු, දිග ඇසි පිහාටු ඇත්තාහු, සිනා සහිත වූවාහු, මැනවැයි හැඳින්විය හැකි ශරීර අවයව ඇත්තාහු, සිහින් කටී ප්‍රදේශ ඇත්තාහු නිරතුරුවම මොහු පිරිවරන්නාහුය.

’’කල්ප තිස් දහසක් මුලුල්ලෙහි දෙව් ලොව සිත් අලවා වසන්නේය. ශක්‍රව දහස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය.

’’දිව්‍යරාජ (ශක්‍ර)යෙකු විසින් පැමිණිය (ලැබිය) යුතු සියල්ල ලබන්නේය. සම්පූර්‍ණ භෝග ඇත්තේම දිව්‍ය රාජ්‍යය කරන්නේය.

’’දහස් වරක් රටෙහි සක්විති රජ වන්නේය. මහත්වූ පෘථිවි රාජ්‍යය (ලබන වාර) ගණන් වශයෙන් ප්‍රමාණ කළ නොහැක්කේය.

’’කල්ප ලක්‍ෂයකින් මත්තෙහි ඔක්කාක කුල සම්භවවූ, ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන්නේය.

’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද (කොටස් කරුවෙක්) වූයේ ධර්‍මයෙන් නිමකළාක් වැනිවූ නම්න් උපාලි නම්වූ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.

’’විනයෙහි කෙළ පැමිණි කුදු මහත් කරුණෙහි දක්‍ෂවූයේ බුදුසසුන (ත්‍රිපිටක ධර්‍මය) දරන්නේ ආශ්‍රව රහිතව වාසය කරන්නේය.

’’ශාක්‍යකුල ශ්‍රේෂඨවූ ගෞතම බුදුරජතෙමේ මේ සියල්ල දැන බික් සඟන මැද හිඳ මොහු අග්‍රස්ථානයෙහි තබන්නේය.

’’අපමණ කලක පටන් ඔබ වහන්සේගේ සසුන පතමි. සියලු සංයෝජනයන් ක්‍ෂය කළේ මා විසින් එම අර්ත්‍ථයට පැමිණෙන ලදී.

’’යම්සේ රාජ දණ්ඩනයෙන් තැතිගත් පුරුෂතෙම හුලෙහි ඇමිනුනේ (එම) හුලෙහි සැපයක් නොවිඳුනේ (ඉන්) මිදීමම කැමති වෙයිද,

’’මහා වීරයන් වහන්ස, මමද එසේම භව දණ්ඩනයෙන් තැතිගන්නේ, කර්මය නැමැති හුලෙහි ඇමිනුනේව, පිපාසාවෙන් හා වේදනාවෙන් මඩනා ලද්දේ,

’’ත්‍රිවිධ අග්නියෙන් (රාග-ද්වේෂ-මෝහ) දැවෙන්නේ භවයෙහි සැපතක් නොවිඳිමි. රාජදණ්ඩනයෙන් තැතිගත්තෙකු මෙන් මිදීම සොයමි.

’’යම්සේ (සර්‍ප විෂයෙන්) දුකට පත් පුරුෂයෙක් තෙම විෂයෙන් පෙළෙන ලදුයේ හෙතෙම විෂ නැසීමේ උපායවූ බෙහෙතක් සොයන්නේය.

’’සොයන්නේ විෂ නසන්නාවූ බෙහෙතක්ද කියන්නේය. විෂයෙන් මිදීම පිණිස එය බී සැප ඇත්තෙක් වන්නේය.

’’එසේම මහා වීරයන් වහන්ස, මම විෂයෙන් නටුවාවූ පුරුෂයෙකු මෙන් අවිද්‍යාවෙන් පෙළුනේ සදහම් බෙහෙත සෙවීමි.

’’දහම් බෙහෙත සොයන්නේ සියළු ඖෂධයනට අග්‍රවූ, සියලු (රාගාදී) හුල් දුරු කරන්නාවූ ඒ බුද්‍ධ ශාසනය දුටුවෙමි.

’’මම දහම් ඔසුව බී සියළු (සසර) විෂ දුරු කෙළෙමි. අජරාමරවූ, සිසිල්වූ, නිවණ ස්පර්‍ශ කෙළෙමි.

’’යම් සේ භූතයෙකු විසින් පෙළන ලද පුරුෂයෙක් තෙම භූත ග්‍රහණයෙන් පීඩිතවූයේ භූතයාගෙන් මිදීම පිණිස භූත වෛද්‍යයෙකු සොයන්නේද,

’’සොයන්නේ භූත විද්‍යාවන්හි දක්‍ෂයෙකු දකින්නේය. හෙතෙම ඔහුගේ භූතයා නසන්නේය. සහමුලින්ම වනසන්නේය.

’’මහා වීරයන් වහන්ස, එසේම මම ක්ලේශාන්‍ධකාරයෙන් පෙළුනේ (එම) අඳුරින් මිදීම පිණිස ඥානාලෝකය (ප්‍රඥාව) සොයමි.

’’ඉක්බිති කෙළෙස් අඳුර දුරු කරන්නාවූ ශාක්‍ය මුනීන්වහන්සේ දුටුවෙමි. උන්වහන්සේ භූත වෛද්‍යයෙක් භූතාවේශයෙන් (දුරු කරන්නාක් මෙන්) මේ මාගේ ක්ලේශාන්‍ධකාරය දුරු කළ සේක.

’’සසර සැඩපහර සින්දෙමි. තෘෂ්ණාශ්‍රොතය වැළැක්වීමි. භූත වෛද්‍යයෙකු මෙන් සියළු භවය මුලින්ම නැසීමි.

’’යම්සේ ගුරුලෙක් තෙම තමාගේ ගොදුරවූ නාගයා වෙත වේගයෙන් බසීද, මහ සමුදුර හාත් පස යොදුන් සියයක් කළඹාද,

’’හෙතෙම යටිකුරුකොට නාගයා ගෙන පෙළන්නේ ඒ ගුරුළුතෙම කැමති තැනකට ගෙනයේද,

’’මහා වීරයන් වහන්ස, එසේම එම ගුරුලා නාගයා බිලිකොට ගන්නාක් මෙන් අසංස්කෘත සංඛ්‍යාත නීවරණ සොයන්නේ මම (ක්ලේශ) දොස් (සමුච්ඡේද වශයෙන්) සෝදා හැරීමි.

’’නිරුත්තර ශාන්ති පදයවූ, උතුම්වූ නිර්‍වාණ ධර්‍මය දක්නා ලද මම ගුරුළා නාගයෙකු මෙන් මෙය (ධර්‍මය) ගෙන වෙසෙමි.

’’චිත්‍රලතා වනයෙහි හටගන්නාවූ ආසාවතී නම් වැල ඒ වැලේ (වයසින්) හවුරුදු දහසකින් එක ගෙඩියක් හට ගනී.

’’එතෙක් දිගු කලක් ගොස් පල ඇතිවූ කල්හි ඒ පලය දෙවියෝ ඇසුරු කරත්. මෙසේ ඒ ආසාවතී නම් උතුම් ලතාව දෙවියන්ට ප්‍රිය වන්නේය.

’’කල්ප ලක්‍ෂයක පටන් මම ඒ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරමි. උදේ හවස නමඳිමි. දෙවියෝ ආසාවතී ලතාව ඇසුරු කරන්නාක් මෙනි.

’’ (බුදුරජාණන් වහන්සේට කරණ) පාරිචරියාව (වත් පිළිවෙත් කිරීම) නොවඳය. නමස්කාරය නොසිස්ය. සසර බොහෝ දුර සිට ආවාවූ මම ඇතිවූ මේ බුද්ධොත්පාදක්‍ෂණය මා ඉක්මවා නොගියේය.

’’මම පරීක්‍ෂාකොට බලන්නේ භවයෙහි ප්‍රතිසන්‍ධියක් නොදකිමි. (එසේම) මම (ස්කන්‍ධ කිලේස) උපධි රහිත වූයේ, සියලු කෙලෙසුන්ගෙන් මිදුනේ, සන්සිඳුනේ, හැසිරෙමි.

’’පියුම වනාහි යම් සේ හිරු රැස් කරණකොටගෙන පිපේද, එසේම මහා වීරයන් වහන්ස, මමද බුදු රැසින් පිපෙන ලදුයේ වෙමි.

’’යම්සේ බලාකායෝනියෙහි (කොක් ජාතියෙහි) හැම කල්හි පිරිමි සත්තු විද්‍යමාන නොවෙද්ද, ඒ කෙකින්නියෝ හැම විටම මේඝ ගර්ජනා කරණ කල්හි ගැබ් ගනිත්.

’’යම්තාක් කල් වැඩි කොටස්ද (ඒතාක්) දීර්‍ඝ කාලයක් නමුදු (කෙකින්නියෝ) ගැබ් දරත්. යම් කලෙක්හි වැසි වසීද, එකල්හි (ගැබ්) බරින් මිදෙත්.

’’ධර්‍මය නැමැති මේඝයෙන් ගර්ජනය කරන්නාවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධර්ම මේඝයගේ ශබ්දය කරණකොටගෙන මම දහම් ගැබ් ගනිමි.

’’කල්ප ලක්‍ෂයක පටන්ම මම (රැස්කළ) පින් නැමැති ගැබ් දරමි. ධර්‍ම නැමැති මේඝය ගර්ජනා නොකෙරන කල්හි (එම ගැබ්) බරින් නොමිදෙමි.

’’ශාක්‍ය මුනීන්‍ද්‍රයන් වහන්ස, යම් කලෙක්හි ඔබ වහන්සේ රම්‍යවූ කපිලවත්‍ථු නගරයෙහි ධර්‍ම මේඝයන් ගර්ජනය කෙරෙහි නම්, මම (මෙම පින් ගැබ්) බරින් මිදුනේ,

’’(ආත්ම දෘෂ්ටි විරහිත බැවින්) ශූන්‍යතවූ, (ක්ලේශ නිමිත්ත රහිත බැවින්) අනිමිත්තවූ, (තෘෂ්ණා ප්‍රණිධි රහිත බැවින්) අප්පණිහිතවූ, විමොක්‍ෂ ධර්මයන්ද, චතුර්විධ ශ්‍රමණ පලයිද, යන මේ සියලු ධර්මයන් (ඉපදවීමි.) මම මෙසේ සියලු ධර්මයන් පිළිබඳ අවුල් සමූහය නිරවුල් කෙළෙමි.

දෙවෙනි බණවර නිමි.

’’පමණ නොකළ හැකි කාලයක පටන් ඔබ වහන්සේගේ මේ සසුන පතමි. මා පැමිණෙන ලද එම (ප්‍රාර්ත්‍ථනා සංඛ්‍යාත) අර්ත්‍ථ ඇත්තේ පැමිණෙන ලද ශාන්ති පදයවූ නිවණද ඇත්තේ වෙමි.

’’(පදුමුත්තර බුදු සසුනෙහි) පාඨික භික්‍ෂුව මෙන් විනයෙහි තෙරපතුයේ මට සමාන අනිකෙකුදු නැත. මම සසුන (ඔවාදශාසනය) දරමි.

’’විනයෙහිද භික්‍ෂු භික්‍ෂණී සංඛ්‍යාත (උභතොවිභංගයෙහි) ඛන්‍ධකයෙහිද (චුල්ලවග්ග මහාවග්ග) දෙක්හි තිකසංඝාදිසේස තිකපාචිත්තියාදියෙහිද පස්වැනිවූ පරිවාරයෙහිද යන මෙහි (විනය පිටකයෙහි) අකුරක හෝ ව්‍යඤ්ජනයක හෝ මාගේ සැකයක් නැත.

’’(පාප භික්‍ෂූන්ට) නිග්‍රහ කිරීමෙහිද, (සාපත්තික භික්‍ෂූන්ට පරිවාස දානාදියෙන්) ප්‍රතිකර්‍ම කිරීමෙහිද, කරුණෙහි හා නොකරුණෙහි දක්‍ෂවූයේ, (තර්ජනීයාදී කර්‍මයන්ගේ පටිපස්සද්ධි වශයෙන් සසුනට ඇතුළුකරගන්නා) ඔසාරණයෙහිද, ඇවතින් නැගුටුවාලන වුඨාපනයෙහිද, යන මේ සියල්ලෙහි පරතෙරට පැමිණියේ වෙමි.

’’(උභතො විභඞ්ග නම්) විනයෙහිද, (චුල්ලවග්ග මහාවග්ග නම්) ඛන්‍ධකයෙහිද, මම සුදුසු පදය බහා (විභඞ්ග ඛත්‍ධක) දෙකින් නිරවුල්කොට (ක්‍රම දක්වා) කෘත්‍ය වශයෙන් සුදුසු අදහස ඇතුළත් කරමි.

’’නිරුක්තියෙහි (ව්‍යවහාර වචනයන්හි නියම අන්‍ර්‍ථ කීමේ ක්‍රමය) ඉතා දක්‍ෂවූයේ, අභිවෘද්ධිය පරිහාණිය යන මේ දෙක්හිද ඡෙකවූයේ (ත්‍රිපිටකයෙහි) මා විසින් දැන නොගන්නා ලද්දක් නැත. බුද්ධ ශාසනයෙහි (මමම) අසහායවූ අග්‍ර විනයධරයා වෙමි.

’’මම අද ශාක්‍ය පුත්‍රවූ බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි (විනය විනිශ්චය, විදර්‍ශනා නම්) රූප දර්‍ශනයෙහි සියලු සැක දුරුකරමි. සියලු කුකුස් සිඳීමි.

’’පෙර පසු පදද (එක එක) අකුරුද (සිථිලධනිතාදී) දශවිධ ව්‍යඤ්ජන විධානයද (තෙන සමයෙන) යනාදී නිදානයද, නිගමනයද යන මේ සියල්ලෙහි මම දක්‍ෂ වීමි.

’’යම් සේ බලවත් රජෙක් තෙම සතුරු රජහට නිග්‍රහකොට තවන්නේද, සංග්‍රාමය ජයගෙන එහි නුවරක් ඉදි කරන්නේද (වේ නම්)

’’තාප්පයද, දිය අගලද, ඉන්‍ද්‍රඛීලයද, දොරටුවද, විවිධ අටළුද යන බොහෝ දෙය (මේ) නගරයෙහිද කරවන්නේය.

’’සිව්මං ඇතුළු වීථිද, මැනවින් බෙදන ලද ආපන ශාලාවන්ද (එසේම) එහි වරද නිවරද විනිශ්චය කරන අධිකරණ ශාලාවද කරවන්නේය.

’’හෙතෙම පස මිතුරන් නැසීම පිණිස, දොස් නිදොස් දැනගැනීම පිණිසද, භට (සේනා) සමූහය රැකීම පිණිසද සෙන්පතියෙකු තබයි.

’’හෙතෙම මාගේ භාණ්ඩයන් විනාශ නොවේවායි රාජ භාණ්ඩයන්ගේ ආරක්‍ෂාව පිණිස (ධනය) තැන්පත් කිරීමෙහි දක්‍ෂවූ පුරුෂයෙකු භාණ්ඩාගාර ආරක්‍ෂකයාකොට තබයි.

’’යමෙක් රජුට මමත්‍වය ඇත්තේ වේද, යමෙක් ඒ රජුගේ අභිවෘද්ධිය කැමති වේද, ඒ මිත්‍රයාහට (ධර්‍මානුකූලව පිළිපැදීමට) අධිකරණය (විනිශ්චයකාර පදවිය) දෙමි.

’’හෙතෙම (උල්කාපාත දික්දාහාදිභූත විකෘතීත් පිළිබඳ වැඩ අවැඩ දැනගන්නා) උත්පාත ශාස්ත්‍රයෙහිද, මූසිකච්ඡින්න (මීයන් කැපීම) ආදියෙහි වැඩ අවැඩ දැනගන්නා නිමිති ශාස්ත්‍රයෙහි, (ස්ත්‍රී පුරුෂයන්ගේ අඞ්ග ලක්‍ෂණ බලා ජීවිතය පිළිබඳ තොරතුරු පවසන) ලක්‍ෂණ ශාස්ත්‍රයෙහිද, දක්‍ෂවූ (බොහෝ ශිෂ්‍යයන්ද) වේද හදාරවන්නාවූ (වේදත්‍රය සංඛ්‍යාත) මන්ත්‍ර දරන්නාවූ පුරුෂයෙකු පුරෝහිත තනතුරෙහි තබයි.

’’මේ අංගයන්ගෙන් යුක්තවූයේ ක්‍ෂත්‍රියයායයි කියනු ලැබේ. (ඒ සේනාවෝ) ස්වකීය ඤාතීන්වූ දුඃඛිනියන් රකිනා සක්වා ලිහිණියා මෙන් හැම කල්හි රජතුමා රකිත්.

’’මහා වීරයන් වහන්ස, එසේම ඔබ නසන ලද සතුරන් ඇති රජෙකු මෙන් දෙවියන් සහිත ලෝකයෙහි ධර්‍ම රාජ (දහම් රජ) යයි කියනු ලැබේ.

’’තීන්‍ර්‍ථකයන්ද, සේනා සහිතවූ මාරයාද නසා ඝන මෝහාන්ධකාරය දුරුකොට ධර්‍ම නගරය මැවීය.

’’ප්‍රාඥයන් වහන්ස, ඒ ධර්‍ම නගරයෙහි ප්‍රාකාරය ශීලයයි. දොරටු කොටුව ඔබ වහන්සේගේ ඥානයයි. ඉත්‍ද්‍රඛීලය ඔබ වහන්සේගේ ශ්‍රද්‍ධාවයි. වාරපාලයා නම් සංවරය වෙයි.

’’අටල්ල සතිපට්ඨානයයි. සර්‍වඥයන් වහන්ස, ඇතුළු වීථිය ඔබ වහන්සේගේ ප්‍රඥාවය. සිව්මංසල ඎද්‍ධිපාදයයි. (මේ ධර්‍ම නගරය) සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍ම නැමැති වීථීන්ගෙන් මැනවින් නිර්මිත කරණ ලද.ී

’’සූත්‍රය, අභිධර්‍මය, විනය යන සම්පූර්‍ණ නවාඞ්ග බුද්‍ධ වචනය ඔබගේ 6නගරයෙහි) අධිකරණ සභාවයි.

’’(අනත්තානුපස්සනාවෙන් ලබන ලද) සුඤ්ඤත විහාරයද, (අනිච්චානුපස්සනාවෙන් ලබන ලද) අනිමිත්ත විහාරයද, (දුක්ඛානුපස්සනාවෙන් ලබන ලද) අප්පණිහිත විහාරයද, (නිශ්චලවූ සතර ශ්‍රාමාණ්‍ය පල සංඛ්‍යාත) අනෙජ විහාරයද, (සියලු දුක් වැළැක්වීම නම්වූ) නිර්‍වාණයද යන මේවා ඔබ වහන්සේගේ ධර්‍ම කුටීහු වෙති.

’’ප්‍රඥාවෙන් අග්‍රස්ථානයෙහි තබන ලද වැටහීමෙහි දක්‍ෂවූ නම්න් ශාරීපුත්‍ර (නම් ශ්‍රාවක) තෙමේ ඔබ වහන්සේගේ ධර්‍ම සේනාපතියා වෙයි.

’’සර්‍වඥයන් වහන්ස, චුතූපපාත ඤාණයෙහි දක්‍ෂවූ, ඎද්‍ධියෙහි පරතෙරට පැමිණි, නම්න් කොලිත (නම් ශ්‍රාවක) තෙමේ ඔබ වහන්සේගේ පෙරෙවියා (පුරෝහිතයා) වෙයි.

’’මුනීන්‍ද්‍රයන් වහන්ස, පෞරාණික වංශය දරන්නාවූ, උග්‍රවූ තේජස් ඇති, (ගුණ ධර්‍මයන්ගෙන්) ලංවිය නොහැක්කාවූ, ධුතවාදීවූ, ආශ්‍රීත ගුණයෙන් අග්‍රවූ, මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ඔබ වහන්සේගේ අක්ඛදස්ස (හෙවත් ව්‍යවහාර කරණයෙහි ප්‍රධානය.)

’’බුදුරජාණන් වහන්ස, ශාසනයෙහි බහුශ්‍රුත ධර්‍මධරවූ, සියලු අධ්‍යයනය කරන්නාවූ, භික්‍ෂූන්ට අග්‍රවූ, නම්න් ආනන්‍ද (නම් ශ්‍රාවක) තෙමේ ඔබ වහන්සේගේ ධර්‍ම (භාණ්ඩාගාර) ආරක්‍ෂකයා වෙයි.

’’භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ශ්‍රාවකයන් ඉක්මවා මා පමණ කළ සේක. විනයෙහි විනය දත් නැණවතුන් විසින් ප්‍රකාශ කරණ ලද දෝෂ විචාරණය මටම පැවරූ සේක.

’’යම්කිසි බුද්‍ධ ශ්‍රාවකයෙක් තෙම විනයධර්‍ම විෂයෙහි ප්‍රශ්නයක් විචාරාද, එහි මාගේ විමතියක් නැත. මම එම අදහසම කියමි.

’’බුද්‍ධ ක්‍ෂෙත්‍රය (ආණක්‍ෂෙත්‍රය) යම් පමණ තන්හි පැතිරේ නම්, එපමණ තන්හි ඒ බුදුරජාණන් වහන්සේ හැර විනය පිටකයෙහි (දක්‍ෂවූ) මා වැනි කෙනෙක් නැත. මට වැඩි කෙනෙක් කොයින් වන්නේද?

’’ගෞතම බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද හිඳ (උභතොවිභඞ්ග නම්) විනයෙහිද, (චුල්ල වග්ග, මහා වග්ග නම්) ඛන්‍ධකයෙහිද උපාලි භික්‍ෂුව හා සම කෙනෙක් නැතැයි මෙසේ සිංහනාද කරණ සේක.

’’බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරණ ලද නවාඞ්ග ශාස්තෘ ශාසනය යම්තාක් නම් ඒ සියල්ල විනයෙහි ඇතුළත්ය. විනය මුත්කොට ඇත්තේයයි දකින්නාහට

’’ගෞතම නම් වූ ශාක්‍ය මුනීන්‍ද්‍රයන් වහන්සේ මාගේ (පූර්‍ව) කර්‍මය සිහිකොට භික්‍ෂු සංඝයා මැද වැඩ හිඳ, මා එතදග්‍රස්ථානයෙහි තැබූ සේක.

’’කල්ප ලක්‍ෂයක (පමණ කාලයක) පටන් මෙම තනතුරු පැතීමි. මා විසින් පැමිණෙන ලද එම අර්ත්‍ථ ඇත්තේ විනයයෙහි පරතෙරට පත්වීමි.

’’මම පෙර ශාක්‍යයනට සොම්නස ඇතිකරන්නාවූ කපුවෙකු වීමි. ඒ කුළය හැර මහර්ෂීවු බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් (බුද්ධ පුත්‍රයෙක්) වීමි.

’’මෙයින් (මේ මහා භද්‍ර කල්පයෙන්) දෙවැනි කල්පයෙහි, අපමණ තෙද ඇති, අනන්තවූ පිරිවර ඇති, මහා ධනවත්, පෘථිවිපාලකවූ ’’අඤ්ජස’’ නම් රජෙක් වීමි.

’’පරිවාර මදයෙන්ද, භෝග මදයෙන්ද, ජාති මදයෙන්ද මත්වූ මම එම රජුගේ පුත්‍රවූ ’’චන්‍දන’’ නම් ක්‍ෂත්‍රියයා වීමි.

’’සියළු (ඇත්) අබරණින් අලංකාර කරණ ලද්දාවූ, ත්‍රිමද ගලිතවූ, හස්ති කුලයෙහි උපන් ලක්‍ෂයක් පමණ ඇත්තු නිතර මා පිරිවරත්.

’’ස්වකීය භට සේනාවන් විසින් පිරිවරණ ලද මම උයනට යනු කැමැත්තේ එකල්හි ’’සිරික’’ නම් ඇතු පිට නැගී නුවරින් නික්මුණෙමි.

’’පසළොස් චරණ ධර්‍මයන්ගෙන් යුත් වසන ලද (චක්‍ෂුරාදී) දොරටු ඇති, මැනවින් රැකි කාය චිත්ත ඇති, ’’දෙවල’’ නම් පසේ බුදුරජාණන් වහන්සේ මාගේ ඉදිරිපසින් පැමිණි සේක.

’’එකල්හි ’’සිරික’’ හස්තියා යවා පසේ බුදුරජාණන් වහන්සේට කරදර කළෙමි. ඉන් හටගත් කෝප ඇති එම ඇත් තෙමේ පියනුගුළුවයි. (නිශ්චලව සිටියි.)

’’මම දූශ්‍ය සිත් ඇති ඇතු දැක බුදුන් කෙරෙහි කෝප කෙළෙමි. පසේ බුදුරජාණන් වහන්සේට පීඩාකොට මම උයනට ගියෙමි.

’’එහි ඒ (නිමිත්තෙන්) හිස ඇවිලගත්තෙකු මෙන් සුවයක් නොවිඳීමි. බිලිය ගිලි මසෙකු මෙන් පසුතැවිලි දැවිල්ලෙන් දැවෙමි.

’’මම සයුර කෙළවරකොට ඇති පෘථිවිය ඇවිලගත්තාක් මෙන් විය. (මම) පියාගේ සමීපයට එළඹ මේ වචන කීමි.

’’කිපුණු සර්‍පයෙකු මෙන්ද, පැමිණි ගිනි කන්‍දක් මෙන්ද, දළ ඇති මතැතෙකු මෙන්ද යම් පසේ බුදුවරයන් වහන්සේ කෙනෙකුට ගැටීම්ද,

’’අනිකෙකු විසින් නොගැටිය හැකි බැවින් ඝෝරවූ උග්‍ර තපස් ඇති පස් මරුන් දිනූ පසේ බුදු රජ තෙම මා විසින් ගටන ලදී. (ඉන්) සියලු දෙනම වැනසෙමු. (ඊට) පළමු ඒ පසේ බුදුරජාණන් වහන්සේ ක්‍ෂමා කොට ගතිමි.

’’ඉදින් චිත්ත දමනය කළ එකඟ සිත් ඇති ඒ පසේ බුදුරජාණන් වහන්සේ ක්‍ෂමා නොකරන්නෙමු නම් සත් දිනකින් මෙපිට මගේ රට විනාශ වන්නේය.

’’සුමෙචලය, කොසියය, සිග්ගවය, සත්තුකය යන මේ (සිව්) රජවරු ඎෂීනට ගටා (අනදර) කොට ඔවුහු ස්වකීය රටවල් සමග දුකට පත්වූහ.

’’කාය සංයමයෙන් යුත් බ්‍රහ්මචාරීවූ ඎෂීහු යම් කලෙක්හි කිපෙත්ද, (එකල) සයුරු පර්‍වත සහිතවූ දෙවියන් සහිත ලෝකය වැනසෙත්.

’’තුන් දහසක් යොදුන් තන්හි පුරුෂයන් රැස් කරවීමි. වරද පැවසීම (ඇවැත් දෙසීම) සඳහා පසේ බුදුරජාණන් වහන්ස් වෙත එළඹියෙමි.

’’තෙත්තූ වස්ත්‍ර ඇත්තාවූ, තෙත්වූ කෙස් ඇත්තාවූ, සියල්ලෝම බඳින ලද ඇඳිලි ඇත්තාහු, බුදුරජාණන් වහන්සේගේ පාමුල වැටී මේ වචන කීවාහුය.

’’මහා වීරයාණෙනි, ඔබ සමාවනු මැනවි. ජන සමූහයා එය විශේෂයෙන් ආයාචනය කරයි. පරිලාහය (දැවිල්ල) දුරුකරනු මැනවි. අප නොනසනු මැනවි.

’’දෙවි මිනිසුන් සහිතවූ, අසුරයන් හා රාක්‍ෂයන් සහිතවූද සියල්ලෝ හැම කල්හි යකුලින් මාගේ හිස පළන්නාහුය.

’’දියෙහි ගිනි නොසිටී. ගලෙහි බිජුවට පැළ නොවේ. බෙහෙතෙහි කෘමි තෙමේ නොසිටී. (එසේම) බුදුරජුන් කෙරෙහි කෝපය හට නොගනී.

’’යම් සේ පොළොව නොසෙල්විය හැකිද, මහ සයුර පමණ කළ නොහැකිද, අහස කෙළවරක් නැත්තේද, එසේම බුදුවරයෝ නොකැළඹිය හැක්කේය.

’’මහාවීරවූ බුදුවරයෝ හැම කල්හි ඉවසීම ඇත්තෝය. (අනුන්ගේ වැරදි) ඉවසන්නාහු තපස්වීහුය. ඉවසීමෙන් යුත්වූවන්ගේද, ඉවසන්නවුන්ගේද (ඡන්‍දාදීන්වූ) එබඳු (අගති) ගමනක් නොවේ.

’’ප්‍රත්‍යෙක සම්බුද්ධ තෙමේ (ඔවුන්ගේ) සන්තාපය දුරුකරමින් මෙය වදාරා එකල්හි මහජනයාගේ ඉදිරියෙහි අහසට නැංගේය.

’’ප්‍රාඥයන් වහන්ස, මම එම කර්‍මය කරණකොටගෙන පහත් (කපු) බවට එළඹියේ ඒ (පහත්) කුලය හැරදමා අභය පුරය (නිවණට) පැමිණියෙමි.

’’මහා වීරයන් වහන්ස, එකල්හි දැවෙන්නාවූ (වරද වරද ලෙස පිළිගෙන) මැනවින් සිටියාවූ මා (දැක) සන්තාපය දුරු කෙළේය. (එම) බුදුරජාණන් වහන්සේද ක්‍ෂමා කරවීය.

’’මහා වීරයන් වහන්ස, (රාග-ද්වේෂ-මෝහ) ත්‍රිවිධාග්නීන්ගෙන් දැවෙන්නාවූ මා අදද නිවීය. (එම) ත්‍රිවිධාග්නිය සිසිල් බවටද පැමිණවීය.

’’යම් කෙනෙකුගේ කන් යොමු කිරීමක් ඇත් නම් කියන්නාවූ මාගේ (වචනය) අසව්. නිර්‍වාණ පදය මා දක්නා ලද පරිදි (එම නිර්‍වාණ සංඛ්‍යාත) අර්ත්‍ථය තොපටද කියමි.

’’ශාන්ත සිත් ඇති එකඟවූ ඒ පසේ බුදුරජාණන් වහන්සේට අවමන්කොට මම ඒ කර්‍මය හේතුකොට ගෙන පහත් (කපු) කුලයෙහි උපන්නෙමි.

’’තෙපි (මේ බුදේ‍ධා්ත්පාදය) ක්‍ෂණය නිශ්පල නොකරව්. ඒ එසේමැයි. (බුදේ‍ධා්ත්පාද) ක්‍ෂණය ඉක්මවූවෝ ශෝක කෙරෙත්. ස්වකීයාභිවෘද්ධියෙහි වෑයම් කරව්. තොප විසින් පැමිණෙන ලද බුදේ‍ධා්ත්පාද ක්‍ෂණ ඇත්තෝය.

’’ඇතැම් අයට වමණයද, සමහරුනට විරේචනයද, එසේම ඇතැමුන්හට හළාහල විෂයද ඖෂධ වේ.

’’(එසේම) මාර්‍ග සමඞ්ගී පුද්ගලයනට සංසාරය මිදීමද, ඵලස්ථයනට සංසාරය විශෙෂයෙන් අත් හැරීමද, ඵල ලබා සිටිනවුනට නිර්‍වාණයද (දිව්‍ය මනුෂ්‍ය නිර්‍වාණ සම්පත් සොයන්නවුනට පුණ්‍ය ක්‍ෂෙත්‍රවූ සංඝයාද සසුන හා විරුද්ධ) වූවනට විෂවූ කුතුහලය හෙවත් පවට පෙළඹුණු ගතියද ඖෂධයයි. ආසී විස සර්පයාද, දිට්ඨ විස සර්පයාද යම් සේ නම්, එසේම ඒ (ශාසන විරෝධී) මනුෂ්‍යයා (පවට පෙළඹුණු ගතිය නැමැති (විෂයෙන්) දවයි.

’’චරක් පානය කළ හළාහල විෂය ජීවිතය විනාශ කෙරෙයි. (එසේම) සසුන හා විරුද්ධවූ (ඒ පවිටු මිනිසා) කප් කෙළ ගණනක් දැවේ.

’’ක්‍ෂාන්තියෙන්ද, අවිහිංසාවෙන්ද මෙත් සිත් ඇති බැවින්ද ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයා (සසර සයුරෙන්) එතෙර කරණ සේක. එහෙයින් (උන් වහන්සේට) තොප විසින් විරුද්ධ නොවිය යුතුයි.

’’බුදුවරයෝ මහා පොළව වැනියහ. ලාභ අලාභ දෙක්හිද, සම්මානන අවමානන දෙක්හිද නොලැහෙත්. එහෙයින් උන්වහන්සේලා තොප විසින් විරුද්ධ නොවිය යුත්තෝය.

’’බුදුරජාණන් වහන්සේ වධකවූ දේවදත්ත කෙරෙහිද, චෞරවූ අංගුලිමාල කෙරෙහිද, (මත්වී ඉදිරියට ආ) ධනපාල හස්තියා කෙරෙහිද, (ඖරස පුත්‍රවූ) රාහුල කෙරෙහිද යන මේ සියලු දෙනාහට සම මෙත් ඇති සේක.

’’මොවුන්හට පටිඝ (තරහ) ක් නැත. එසේම මොවුනට රාගය (ඇලීමක් ) නැත. සර්‍වඥ තෙමේ (මැරීමට ආ) වධකයාටද, (තමාගේම) ඖරස පුත්‍රයාටද සම මෙත් ඇත්තේය.

’’මග අතහැර දැමූ අසූචි වැකුණු කසාවත (සිවුර) දැක ඎෂිධ්වජයයි මුදුනෙහි ඇඳිලි බැඳ වැඳිය යුතුය.

’’අතීතයෙහිවූද, වර්‍තමානයෙහිවූද, අනාගතයෙහිවූද යම් බුදු කෙනෙක් වෙත් නම් මේ ඎෂිධජයෙන් (සිව්රෙන්) පිරිසිදුවෙත්. එහෙයින් මේ බුදුවරයෝ වැඳිය යුත්තාහුය.

’’බුදුරජාණන් වහන්සේ මෙන්ම මනා විනයනය මම සිතින් දරමි. හැමකල්හි විනය පිටකයට නමස්කාර කරමින් වසන්නෙමි.

’’මාගේ ගෘහය විනයයි. සිටින තැනද, සක්මන් කරන තැනද, විනයයි. විනයයෙහි (දැරීම්, පැවැත්වීම්) වශයෙන් වාසය කරමි. විනය පිටකය මාගේ ගෝචරයයි.

’’විනයයෙහි පරතෙරට පැමිණියාවූ, අධිකරණ සමථයෙහිද දක්‍ෂවූ උපාලි තෙමේ මහා වීරයන් වහන්ස, ශාස්තෘවූ ඔබ වහන්සේගේ දෙපා වඳියි.

’’ඒ (උපාලිවූ) මම ධර්‍මය පිළිබඳ සුන්‍දර බව දැන එම ධර්‍මයටද, සම්‍යක් සම් බුදුරජාණන් වහන්සේටද වඳිමින් ගමින් ගමටද, නගරයෙන් නගරයටද (යමි.) මා විසින් කෙලෙස් දවන ලදී. සියලු භව සමූලඝාතනය කරණ ලදී. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ.

’’මා විසින් ක්ලේශයෝ දවන ලදහ. (නව) භවයෝ සමූලඝාතනය කරණ ලදහ. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.

’’බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.

’’මේ සිවි පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී’’

මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් දේශනා කළ සේක.

උපාලි ථෙරාපදානය සවැනියි.