අංගුත්තර නිකාය
එක නිපාතය
15. එතදග්‍ර පාලිය (්)
188
අඤ්ඤාකොණ්ඩඤ්ඤ එතදග්ග සූත්‍රය—‘මහණෙනි, යම් මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් ස්ථවිර නමක් වේද, මේ තෙම චිරරාත්‍රි දන්නාවූ (ඉකුත්කළ බොහෝ කල් ඇති) මාගේ ශ්‍රාවක වූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.
189
සාරිපුත්ත එතදග්ග සූත්‍රය—“මහණෙනි, මහත් ප්‍රඥා ඇත්තවුන් අතුරෙන් මේ ශාරිපුත්‍රස්ථවිර තෙම අග්‍රයි.
190
මහාමොග්ගල්ලාන එතදග්ග සූත්‍රය—“මහණෙනි, ඍද්ධි ඇත්තවුන් අතුරෙන් මේ මහා මෞද්ගල්‍යාන ස්ථවිර තෙම අග්‍රයි.
191
මහාකස්සප එතදග්ග සූත්‍රය—“මහණෙනි, ධුතවාද ඇත්තාවූ (ධූතංගධාරීවූ) භික්ෂූන් අතුරෙන් මේ මහා කාශ්‍යප ස්ථවිර තෙම අග්‍රයි.
192
අනුරුද්ධ එතදග්ග සූත්‍රය—“මහණෙනි, දිවැස් ඇත්තවුන් අතුරෙන් මේ අනුරුද්ධ ස්ථවිර තෙම අග්‍රයි.
193
භදදිය කාළිගොධායපුත්ත එතදග්ග සූත්‍රය—“මහණෙනි, උසස් කුල ඇත්තවුන් අතුරෙන් කාළිගොධා නම් බැමිණියගේ පුත්‍රවූ මේ භද්දිය ස්ථවිර තෙම අග්‍රයි.
194
ලකුණ්ටක භද්දිය එතදග්ග සූත්‍රය—“මහණෙනි, මධුර ස්වර (මිහිරි හඬ) ඇත්තාවූ භික්ෂූන් අතුරෙන් මේ ලකුණ්ටක භද්දිය ස්ථවිර තෙම අග්‍රයි.
195
පිණ්ඩොලභාරද්වාජ එතදග්ග සූත්‍රය—“මහණෙනි, සිංහනාද (අභීතනාද) කරන්නාවූ භික්ෂූන් අතුරෙන් මේ පිණ්ඩොල භාරද්වාජ ස්ථවිර තෙම අග්‍රයි.
196
පුණ්ණමන්තානීපුත්ත එතදග්ග සූත්‍රය—“මහණෙනි, ධර්මකථිකවූ ශ්‍රාවකයන් අතුරෙන් මේ මන්තානි බැමිණියගේ පුත්‍රවූ මේ පුණ්ණ නම් ස්ථවිර තෙම අග්‍රයි.
197
මහා කච්චාන එතදග්ග සූත්‍රය—“මහණෙනි, සංක්ෂෙපයෙන් කියනලද ධර්මයාගේ අර්ථය විස්තර වශයෙන් විභාග කරන්නාවූ භික්ෂූන් අතුරෙන් මේ මහාකච්චාන ස්ථවිර තෙම අග්‍රයි.
(ප්‍රථම වර්ගය නිමි.)