අංගුත්තර නිකාය
එක නිපාතය
13. අනාපත්ති වර්ගය. (සස)
(මේ වර්ගයේ සූත්‍රවල 2 ඡෙදය 150 වර්ගයේ 1 සූත්‍රයේ 2 ඡෙදය මෙනි.)
170
අනාපත්තිදීපන සූත්‍රය—1. “මහණෙනි, යම් භික්ෂූ කෙනෙක් ඇවැත් නොවූදේ ඇවත නුවූයයි දක්වත්ද,
171
ආපත්තිදීපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂූ කෙනෙක් ඇවැත්වූදේ ඇවැත් වූදේයයි දක්වත්ද
172
ලහුකාපත්තිදීපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂූ කෙනෙක් ලඝු ඇවත ලඝු ඇවතයයි දක්වත්ද,
173
ගරුකාපත්ති දීපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂූ කෙනෙක් ගරු ඇවත ගරු ඇවතයයි දක්වත්ද,
174
දුට්ඨුල්ලාපත්ති දීපන සූත්‍රය—යම් භික්ෂු කෙනෙක් දොෂ බහුලවූ ඇවත දොෂ බහුලවූ ඇවතයයි දක්වත්ද,
175
අදුට්ඨුල්ලාපත්තිදීපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂූකෙනෙක් දොෂ බහුලනුවූ ඇවත දොෂ බහුලනුවූ ඇවත යයි දක්වත්ද,
176
සාවසෙසාපත්තිදීපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂූ කෙනෙක් සාවසෙසාපත්තිය (ඉතුරුවූ ඇවත) සාවසෙසා පත්තියයි දක්වත්ද,
177
අනවසෙසාපත්ති දීපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂූ කෙනෙක් අනවසෙසාපත්තිය (ඉතුරුනුවූ ඇවත) අනවසෙසාපතති ඉතුරුනුවූ ඇවතයයි දක්වත්ද,
178
සප්පටිකම්මාපත්ති දීපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් ප්‍රතිකර්ම (පිළියම් කළහැකි ඇවත) පිළියම් කළහැකි ඇවතයයි දක්වත්ද,
179
අප්පටිකම්මාපත්ති දීපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් ප්‍රතිකර්ම රහිත ඇවත ප්‍රතිකර්ම රහිත ඇවතයයි දක්වත්ද,
(තෙළෙස්වන වර්ගය නිමි.)
14. එකපුග්ගල වර්ගය.
180
සම්මාසම්බුද්ධ සූත්‍රය—“මහණෙනි, එකම පුද්ගලයෙක් තෙම ලොකයෙහි උපදනේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස උපදී. කවරනම් අසහාය පුද්ගලයෙක්ද? තථාගත (නම්වූ) අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි, මේ අසහාය පුද්ගලතෙම වනාහි ලොකයෙහි උපදනේ බොහෝදෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපදී.”
181
දුල්ලභපුග්ගල සූත්‍රය—“මහණෙනි, ලොකයෙහි එකම පුද්ගලයෙකුගේ පහළවීම දුර්ලභය. කවර එකම පුද්ගලයෙකුගේද? තථාගතවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන්ගේය. මහණෙනි, මේ අසහාය පුද්ගලයාගේ ලොව පහළ වීම වනාහි දුර්ලභය.”
182
අච්ඡරිය මනුස්ස සූත්‍රය—‘මහණෙනි, ලොකයෙහි එකම පුද්ගලයෙක් උපදනේ ආශ්චර්‍ය්‍ය මනුෂ්‍යයෙක්ව උපදී. කවර එකම පුද්ගලයෙක් ද? තථාගතවූ අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි, ලොකයෙහි මේ අසහාය පුද්ගල තෙම වනාහි උපදින්නේ ආශ්චර්‍ය්‍ය මනුෂ්‍යයෙක්ව උපදී.”
183
අනුතප්ප සූත්‍රය—“මහණෙනි, එකම පුද්ගලයෙකුගේ කාලක්‍රියාව බොහෝ දෙනාට තැවිලි උපද වන්නීය. කවර එකම පුද්ගලයෙකුගේද යත්; තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේය. මහණෙනි, මේ අසහාය පුද්ගලයාගේ කාලක්‍රියාව බොහෝ දෙනාට තැවිලි උපදවන්නීය.
184
අප්පටි පුග්ගල සූත්‍රය—“මහණෙනි, තමහට සරිලන දෙවැන්නකු නැතිවූ සමානයකු නැතිවූ, සම කරනට දෙයක් නැතිවූ ආත්මභාවයෙන් සමානයකු නැතිවූ, තමාගේ ධර්මයෙහි අඩුපාඩු ප්‍රකාශ කිරීමට කිසිවකු නැතිවූ, (‘මම බුදුවෙමි”යි ප්‍රතිඥා දෙන්නට සමර්ථවූ අන් කිසිවකු නැතිවූ, (සියලු පුද්ගලයන් හා අසමානවූ) අසම නම්ලද බුදුවරයන්ට සමානවූ, දෙව්මිනිසුන් අතුරෙන් අග්‍රවූ, එක පුද්ගලයෙක් ලෝකයේ උපදනේය. කවර එකම පුද්ගලයෙක්ද යත්; තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි, තමාට සම දෙවැනියකු නැති, සහායයකු නැති, ප්‍රතිමායෙන් සමානයෙකු නැති, අප්‍රති සමවූ, ප්‍රතිභාගවීමට සුදුස්සකු නැති, අප්‍රතිපුද්ගලවූ, අසමවූ, අසමසමවූ මේ අසහාය පුද්ගල තෙම වනාහි දෙපා ඇත්තවුන්ට අග්‍රව උපදී.
ධම්මපාතුභාව සූත්‍රය:—1. “මහණෙනි, එකම පුද්ගලයෙකුගේ පහළවීමෙන් මහත්වූ (ප්‍රඥා) චක්ෂුසයාගේ පහළවීම වේ. මහත්වූ (ප්‍රඥා) ආලොකයාගේ පහළවීම වේ, මහත්වූ (ප්‍රඥා) දීප්තියකගේ පහළවීම වේ. සවැදෑරුම් අනුත්තරිය ධර්මයන්ගේ පහළවීම වේ, සිවුපිළිසිඹියාවන්ගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ. නොයෙක් ධාතූන්ගේ ප්‍රතිවෙධය වේ. නානාප්‍රකාර ස්වභාවය දැනගැනීම ඇති වේ. මාර්ගඵලඥානය හා ඒ සමග යෙදුනු අවශෙෂ ධර්මයන්ගේ හා අර්හත් ඵලයාගේ ප්‍රත්‍යක්ෂකිරීම වේ. සොවාන් ඵලයාගේ ප්‍රත්‍යක්ෂකිරීම වේ. සකෘදාගාමී ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ. අනාගාමී ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ. අර්හත් ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ.”
2. “කවර එකම පුද්ගලයෙකුගේද යත්? තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේය. මහණෙනි, මේ අසහාය පුද්ගලයාගේ පහළවීමෙන් මහත්වූ (ප්‍රඥා) චක්ෂුසයාගේ පහළවීම වේ. මහත්වූ ප්‍රඥාලොකයාගේ පහළවීම වේ. මහත්වූ ප්‍රඥාභාවයාගේ පහළවීම වේ. ෂඞ්විධ අනුත්තරිය ධර්මයන්ගේ පහළවීම වේ. චතුර්විධ ප්‍රතිසම්භිදා ධර්මයන්ගේ පහළවීම වේ. නොයෙක් ධාතූන්ගේම ප්‍රතිවේධය වේ. ඒ නානා ස්වභාවයන්ගේ ප්‍රතිවෙධය වේ. විද්‍යාවිමුක්ති ඵලයන්ගේ ප්‍රත්‍යක්ෂ කිරීමවේ. ශ්‍රොතාපත්ති ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීමවේ. සකෘදාගාමි ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ. අනාගාමි ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ. අර්හත් ඵලයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම වේ.
187
සාරිපුත්තධම්මචක්ක සූත්‍රය—“මහණෙනි, යමෙක් තෙම තථාගතයන් වහන්සේ විසින් පවත්වනලද නිරුත්තරවූ ධර්මචක්‍රය මනා කොට (ඒ අනුවම) පවත්වාද, මහණෙනි, (එසේ කිරීමෙහි) මේ ශාරිපුත්‍රස්ථවිරයන් බඳුවූ අනෙක් එක පුද්ගලයෙකුදු මම (නුවණැසින්) නොම දකිමි. මහණෙනි, ශාරිපුත්‍රස්ථවිර තෙමේ තථාගතයන් විසින් පවත්වන ලද ශ්‍රෙෂ්ඨ වූ ධර්මචක්‍රය මනා කොට ඒ අනුවම පවත්වයි.
(එකපුද්ගල වර්ගය නිමි.)