අංගුත්තර නිකාය
එක නිපාතය
15. එතදග්‍ර පාලිය (මෙහෙනිවරු)
235
මහාපජාපතී ගොතමී එතදග්ග සූත්‍රය—“මහණෙනි, යම් මේ මහාප්‍රජාපතී ගොතමී නම් ස්ථවිරියක් වේද, චිර රාත්‍රි (ඉකුත්කළ බොහෝ කල් දන්නාවූ මාගේ ශ්‍රාවිකා භික්ෂුණීන් අතුරෙන් ඕතොමෝ අග්‍රයි.
236
ඛෙමා එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ ඛෙමා භික්ෂුණී තොමෝ මහා ප්‍රඥා ඇති භික්ෂුණීන් අතුරෙන් අග්‍රයි.
237
උප්පලවණ්ණා එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ උප්පලවණ්ණා භික්ෂුණිය ඍද්ධිමත්වූ ශ්‍රාවිකාවන් අතුරෙන් අග්‍රයි.
238
පටාචාරා එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ පටාචාර නම් භික්ෂුණිය විනයධරවූ ශ්‍රාවිකාවන් අතුරෙන් අග්‍රයි.
239
ධම්මදින්නා එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ ධම්මදින්නා ස්ථවිරී තොමෝ ධර්මකථිකවූ ශ්‍රාවිකාවන් අතුරෙන් අග්‍රයි
240
නන්දා එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ නන්දා නම් භික්ෂුණිය ධ්‍යානයෙහි ඇලුනාවූ ශ්‍රාවිකාවන් අතුරෙන් අග්‍රයි.
241
සොණා එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ සොණා නම් භික්ෂුණිය පවත්නාලද පරිපූර්ණ වීර්‍ය්‍යය ඇති භික්ෂුණීන් අතුරෙන් අග්‍රයි.
242
සකුලා එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ සකුලා නම් භික්ෂුණිය දිවැස් ඇත්තාවූ භික්ෂුණීන් අතුරෙන් අග්‍රයි.
243
භද්දාකුණ්ඩලකෙසා එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ (කුණ්ඩලවූ හෙවත් වක්‍ර කෙහෙ ඇති) කුණ්ඩලකෙසා භික්ෂුණිය වහා පැමිණෙන ලද අභිඥා අවබොධ ඇති මාගේ භික්ෂුණීන් අතුරෙන් අග්‍රයි.
244
භද්දාකාපිලානී එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ භද්දා කාපිලානී නම්වූ භික්ෂුණිය පූර්වෙනිවාසය (පෙරවිසූ කඳපිළිවෙළ) සිහි කරන්නාවූ භික්ෂුණීන් අතුරෙන් අග්‍රයි.
245
භද්දාකච්චානා එතදග්ග සූත්‍රය—මහණෙනි, මේ භද්දා කච්චානා නම්වූ භික්ෂුණිය මහත්වූ අභිඥාවන්ට පැමිණියාවූ භික්ෂුණීන් අතුරෙන් අග්‍රයි.
246
කිසාගොතමී එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ කිසා ගොතමී නම් භික්ෂුණිය රළුසිවුරු දරන්නාවූ භික්ෂුණීන් අතුරෙන් අග්‍රයි.
247
සිගාලමාතා එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ සිගාලමාතා භික්ෂුණිය බලවත් ශ්‍රද්ධා ඇත්තාවූ භික්ෂුණීන් අතුරෙන් අග්‍රයි.
පස්වෙනි වර්ගයයි.