අංගුත්තර නිකාය

එක නිපාතය

15. එතදග්‍ර පාලිය (ජ) උපාසකවරු

248

තපස්සු භල්ලිකා එතදග්ග සූත්‍රය—“මහණෙනි, යම් මේ තපස්සුය භල්ලිකය යන වෙළෙඳ දෙබෑ කෙනෙක් වෙත්ද, පළමු සරණගියාවූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙන් මොහු තුමූ අග්‍රයි.

249

සුදත්ත (අනාථ පිණ්ඩික) එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ (අසරණයන්ට අහර දෙන බැවින්) අනාථ පිණ්ඩික නම් ඇති සුදත්ත නම් ගෘහපති තෙම දානයෙහි ඇලුනාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.

250

චිත්ත එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ මච්ඡිකා සණ්ඩ නුවරවාසී චිත්ත නම් ගෘහපති තෙම ධර්මකථිකවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.

251

හත්ථක ආලවක එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ හත්ථක නම් ඇති ආලවක නම්වූ කුමාර තෙම සිවූ සඟරාවකින් පිරිසට සංග්‍රහ කරණ උපාසකයන් අතුරෙන් අග්‍රයි.

251

මහානාම සක්ක එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ මහානාම නම් ශාක්‍ය තෙම ප්‍රණීත දේ දෙන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.

253

උග්ග ගහපති වෙසාලික එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ විශාලා මහනුවර වාසීවූ ඒ උග්ග නම් ගෘහපතියා මනාප දේ දෙන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.

254

උගගත එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ උග්ගත නම් ගෘහපතියා සංඝයාට උපස්ථාන කරන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.

255

සූර අම්බට්ඨ එතදග්ග සූත්‍රය—“මහණෙනි මේ සූර අම්බට්ඨ උපාසක තෙම අචල ප්‍රසාදයෙන් යුක්තවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.

256

ජීවක කොමාරභච්ච එතදග්ග සූත්‍රය—“මහණෙනි, කොමාරභච්ච නම් ඇති මේ ජීවක උපාසක තෙම පුද්ගලයන්ගේ ප්‍රසාදය දිනාගත් මාගේ ශ්‍රාවකවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.

257

නකුලපිතා එතදග්ග—“මහණෙනි, මේ නකුල පිතා නම් ගෘහපතියා විශ්වාස කටයුතු දේ කියන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.

සයවෙනි වර්ගයයි.