අංගුත්තර නිකාය

එක නිපාතය

15. එතදග්‍ර පාලිය (ා) උපාසිකාවරු

258

සුජාතා එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ සෙනානී කෙළෙඹියාගේ දියණියවූ සුජාතා නම් උපාසිකාවක් වේද, ඕතොමෝ පළමුකොට සරණගියාවූ මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.

259

විසාඛා එතදග්ග සූත්‍රය—“මහණෙනි, (මිගාර සිටුහු විසින් මවූ තනතුරෙහි පිහිටවූ හෙයින්) මිගාරමාතා නම් ඇති මේ විසාඛා උපාසිකාව දානයෙහි ඇලුනාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.

260

ඛුජ්ජුත්තරා එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ ඛුජ්ජුත්තරා උපාසිකාව බහුශ්‍රැතවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි

261

සාමාවතී එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ සාමාවතී උපාසිකාව මෙත් සිත් පතුරුවා වසන උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.

262

උත්තරා නන්දමාතා එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ නන්ද ගේ මව්වූ උත්තරා නම් උපාසිකා තොමෝ ධ්‍යානයෙහි ඇලුනාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.

263

සුප්පවාසා කොලියධීතා එතදග්ග සූත්‍රය—‘මහණෙනි, මේ කෝලිය රාජගේ දුවවූ සුප්පවාසා උපාසිකා තොමෝ ප්‍රණීත දේ දෙන්නාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.

264

සුප්පියා එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ සුප්පියා උපාසිකාව ගිලනුන්ට උපස්ථාන කරන්නාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි

265

කාතියානී එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ කාතියානී නම් උපාසිකාව නොසෙල්වෙන සැදැහැති උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.

266

නකුලමාතා එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ නකුලමාතාවූ ගෘහිණිය විශ්වාසකටයුතු කථා කියන්නාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.

267

කාළී කුරරඝරිකා එතදග්ග සූත්‍රය—“මහණෙනි, කුරරඝර නගරවාසීවූ මේ කාළී නම් උපාසිකාව බුදුගුණ අනුන් වෙතින් ඇසීමෙන්ම උපන් ප්‍රසාදයෙන් යුක්තවූ මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.

සත්වෙනි වර්ගයයි.