අංගුත්තර නිකාය

දුක නිපාතය

පළමුවෙනි පණ්ණාසකය

3. තුන්වෙනි පණ්ණාසකය

15. සමාපත්ති වර්ගය

සමාපත්ති සූත්‍රය:—“මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,

2. ‘සමවතට සමවැදීමෙහි දක්ෂ බවද සමවතින් නැඟීමෙහි දක්ෂ බවද (යන දෙදෙනයි)

3. මහණෙනි, මේ දෙදෙන වනාහි ධර්මයෝ වෙත්.” (මේ වර්ගයේ සියලු සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 1

සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)

අජ්ජව සූත්‍රය:—2. “ඍජු බවද මෘදු බවද (යන දෙදෙනයි.)

ඛන්තී සූත්‍රය:—2. “ඉවසන බවද සුසිල්වත් බවද (යන දෙදෙනයි)

සාබල්‍ය සූත්‍රය:—2 “මොළොක් බස් කීම් වශයෙන් සතුටුවන බවද පිළිසඳර කිරීමද (යන දෙදෙනයි)

අවිහිංසා සූත්‍රය:—2 “අවිහිංසාව (කුළුණු සිත් පෙරදැරි බව) ද සුචිභාවය (ශීල වශයෙන් පිරිසුදු බව) ද (යන දෙදෙනයි)

අගුත්තද්වාර සූත්‍රය:—2 “ඉන්ද්‍රියෙන්හි නොවසන ලද දොර ඇති බවද භොජනයෙහි පමණ නොදන්නා බවද (යන දෙදෙනයි)

ගුත්තද්වාර සූත්‍රය:—2. “ඉන්ද්‍රියයන්හි වසන ලද දොර ඇති බවද භොජනයෙහි පමණ දන්නා බවද (යන දෙදෙනයි.)

පටිසංඛාන සූත්‍රය:—2. “පරීක්ෂාකිරීමේ බලයද භාවනා බලයද (යන දෙදෙනයි.)

සතිබල සූත්‍රය:—2. “ස්මෘති බලයද සමාධි බලයද (යන දෙදෙනයි.)

සමථවිපස්සනා සූත්‍රය:—2. “සමථය (සිතෙහි එකඟ බව) ද විපස්සනාවද (යන දෙදෙනයි.)

විපත්ති සූත්‍රය:—2 “සීලවිපත්තිය (දුශ්ශීල බව) ද දිට්ඨිවිපත්තිය (මිථ්‍යාදෘෂ්ටිය) ද (යන දෙදෙනයි.)

සම්පදා සූත්‍රය:—2. සීලසම්පත්තිය ද සම්‍යක් දෘෂ්ටියද (යන දෙදෙනයි.)

ශීලවිසුද්ධි සූත්‍රය:—2. “සීලවිසුද්ධිය (විශුද්ධියට පමුණුවන ශීලය) ද දිට්ඨිවිසුද්ධිය (විශුද්ධියට පමුණුවන මාර්ග සම්‍යග් දෘෂ්ටිය) ද (යන දෙදෙනයි)

දිට්ඨිවිසුද්ධි සූත්‍රය:—2. “දෘෂ්ටිවිසුද්ධිය (විශුද්ධියට පමුණුවන මාර්ග සම්‍යග්දෘෂ්ටිය) ද දෘෂ්ටියට අනුරූපවූවහුගේ ප්‍රධාන වීර්‍ය්‍යයද (යන දෙදෙනයි)

අසන්තූට්ඨිතා සූත්‍රය:—2. “අර්හත් මාර්ගය හැර සෙසු) කුශල ධර්මයන්හි නොසතුටු බවද ප්‍රධාන වීර්‍ය්‍යයෙහි නොපසුබස්නා බවද (යන දෙදෙනයි.)

මුට්ඨසච්ච සූත්‍රය:—2. “මුළාවූ සිහි ඇති බවද සම්‍යක් ප්‍රඥාව නැති බවද (යන දෙදෙනයි)

සතිසම්පජඤ්ඤ සූත්‍රය:—“සිහි ඇති බවද සම්‍යක් ප්‍රඥා ඇති බවද (යන දෙදෙනයි.)”

(පස්වෙනි සමාපත්ති වර්ගය නිමි)

(තුන්වැනි පණ්ණාසකය සමාප්තයි)