අංගුත්තර නිකාය

දුක නිපාතය

පළමුවෙනි පණ්ණාසකය

3. තුන්වෙනි පණ්ණාසකය

14. සන්ථාර වර්ගය

සන්ථාර සූත්‍රය:—“මහණෙනි, මේ ඇතිරීම් (සඳර) දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, ආමිස සන්ථාරයද ධර්ම සන්ථාරයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි ඇතිරීම් වෙත්. මහණෙනි, මේ ඇතිරීම් දෙක අතුරෙන් යම් මේ ධර්ම ඇතිකිරීමක් වේද මෙය අග්‍රය.”

පටිසන්ථාර සූත්‍රය:—“මහණෙනි, මේ පිළිසඳර දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපසය පිළිබඳ පිළිසඳරද ධර්මය පිළිබඳ පිළිසඳරද (යන දෙකයි) මහණෙනි, මේ දෙක වනාහි පිළිසඳරයෝ වෙත්. මහණෙනි, මේ පිළිසඳර දෙක අතුරෙන් යම් මේ ධර්මයෙන් කරණු ලබන පිළිසඳරක් වේද, මෙය අග්‍රය.”

එසනා සූත්‍රය:—“මහණෙනි, මේ සෙවීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපසය සෙවීමද ධර්මය සෙවීමද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි සෙවීම් නම් වෙත්. මහණෙනි, මේ සෙවීම් දෙක අතුරෙන් යම් මේ ධර්ම සෙවීමක් වේද, මෙය අග්‍රය”

පරියෙසනා සූත්‍රය:—“මහණෙනි, මේ හාත්පස පවත්නා සෙවීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපසය පරියෙසනාවද ධර්ම හාත්පස සෙවීමද (යන දෙකයි.) මහණෙනි මේ දෙක වනාහි සෙවීම් නම් වෙත්. මහණෙනි, මේ හාත්පස සෙවීම් දෙක අතුරෙන් යම් මේ ධර්ම හාත්පස සෙවීමක් වේද, මෙය අග්‍රය.”

පරියෙට්ඨි සූත්‍රය:—“මහණෙනි, සම්පූර්ණවූ සෙවීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සම්පූර්ණ සිවුපසය සෙවීමද සම්පූර්ණ ධර්මය සෙවීමද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි සම්පූර්ණවූ සෙවීම් දෙකක් වෙත්. මහණෙනි, මේ සම්පූර්ණ සෙවීම් දෙක අතුරෙන් යම් මේ සම්පූර්ණ ධර්මය සෙවීමක් වේද, මෙය අග්‍රය.”

පූජා සූත්‍රය:—“මහණෙනි, මේ පූජා දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, ආමිස පූජාවද ධර්ම පූජාවද (යන දෙකයි) මහණෙනි, මේ දෙක වනාහි පූජා වෙත්. මහණෙනි, මේ පූජා දෙක අතුරෙන් යම් මේ ධර්ම පූජාවක් වේද, මෙය අග්‍රය.”

ආතිථෙය්‍ය සූත්‍රය:—“මහණෙනි, මේ ආගන්තුක සත්කාරයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිසයෙන් කරණ ආගන්තුක සත්කාරයද ධර්මයෙන් කරණ ආගන්තුක සත්කාරයද (යන දෙකයි) මහණෙනි, මේ දෙක වනාහි ආගන්තුක සත්කාර වෙත්. මහණෙනි, මේ ආගන්තුක සත්කාර දෙක අතුරෙන් යම් මේ ධර්මයෙන් කරණ ආගන්තුක සත්කාරයක් වේද, මෙය අග්‍රය.”

ඉද්ධි සූත්‍රය:—“මහණෙනි, මේ සමෘද්ධිහු දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, ආමිස සමෘද්ධියද, ධර්ම සමෘද්ධියද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි සමෘද්ධිහු වෙත්. මහණෙනි, මේ සමෘද්ධි දෙක අතුරෙන් යම් මේ ධර්ම සමෘද්ධියක් වේද, මෙය අග්‍රය”

වුද්ධි සූත්‍රය:—“මහණෙනි, මේ වැඩීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, ආමිසයෙන් වැඩීමද ධර්මයෙන් වැඩීමද (යන දෙකයි) මහණෙනි, මේ දෙක වනාහි වැඩීම් වෙත් මහණෙනි, මේ වැඩීම් දෙක අතුරෙන් යම් මේ ධර්මයෙන් වැඩීමක් වේද, මෙය අග්‍රය”

රතන සූත්‍රය:—“මහණෙනි, මේ රත්නයෝ (ඇලුම් කරණු ලබන්නෝ) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස රත්නයද ධර්මරත්නයද (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි රත්නයෝ වෙත්. මහණෙනි, මේ රත්න දෙදෙන අතුරෙන් යම් මේ ධර්ම රත්නයක් වේද මෙය අග්‍රය.”

යනනිචය සූත්‍රය:—“මහණෙනි, මේ රැස්කිරීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපසය රැස්කිරීමද ධර්මය රැස්කිරීමද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි රැස්කිරීම් වෙත් මහණෙනි, මේ රැස්කිරීම් දෙක අතුරෙන් යම් මේ ධර්මය රැස්කිරීමක් වේද මෙය අග්‍රය”

වෙපුල්ල සූත්‍රය-“මහණෙනි, මේ මහත් භාවයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිසයෙහි මහත් බවද, ධර්මයෙහි මහත් බවද (යන දෙදෙනයි.) මහණෙනි, මේ දෙදෙන වනාහි මහත්භාවයෝ වෙත්. මහණෙනි, මේ මහත්භාව දෙක අතුරෙන් යම් මේ ධර්ම මහත් භාවයක් වේද මෙය අග්‍රය.”

(සතරවැනි සන්ථාර වර්ගය නිමි.)