අංගුත්තර නිකාය

දුක නිපාතය

පළමුවෙනි පණ්ණාසකය

2. දෙවෙනි පණස

9. ධර්ම වර්ගය

විමුත්ති සූත්‍රය:—1. “මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,

2. චිත්ත විමුක්තිය (අර්හත්ඵල සමාධිය) ද ප්‍රඥා විමුක්තිය (අර්හත්ඵල ප්‍රඥාව) ද (යන දෙදෙන) වෙත්.

3 “මහණෙනි, මේ වනාහි ධර්මයෝ දෙදෙන වෙත්.

(මේ වර්ගයේ සියලු සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 1 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්)

පග්ගාහා සූත්‍රය:—2. “ප්‍රග්‍රහය (වීර්‍ය්‍යය) ද අවික්ෂෙපය (සිතෙහි එකඟ බව) ද (යන දෙදෙන) වෙත්.

නාමරූප සූත්‍රය:—2. “නාමයද රූපයද (යන දෙදෙන) වෙත්.

විජ්ජාවිමුත්ති සූත්‍රය:—2 විද්‍යාව (සතරඵල ඥානයද) විමුක්තියද (යන දෙදෙන) වෙත්.

භවදිට්ඨි සූත්‍රය:—2. “භව (ශාශ්වත) දෘෂ්ටියද විභව (උච්ඡෙද දෘෂ්ටියද යන දෙදෙන) වෙත්.

අහිරික සූත්‍රය:—2. “පව් කිරීමෙහි ලජ්ජා රහිත බවද පව් කිරීමෙහි බිය නොවන බවද යන දෙදෙන වෙත්.

හිරි සූත්‍රය:—2. “පව් කිරීමෙහි ලජ්ජා ඇති බවද පව් කිරීමෙහි බියද (යන දෙදෙන) වෙත්.

දොවචස්ස සූත්‍රය:—2 දුර්වච (අකීකරු) බවද පාප මිත්‍රයන් ඇති බවද (යන දෙදෙන) වෙත්.

සොවචස්ස සූත්‍රය:—2 “සුවච (කීකරු) බවද කල්‍යාණ මිත්‍රයන් ඇති බවද (යන දෙදෙන) වෙත්.

ධාතුමනසිකාර සූත්‍රය:—2. ධාතුකුශලත්වය (ධාතූන් දැකීමෙහි දක්ෂ බව) ද මනසිකාර කුශලත්වය (අනිත්‍යාදී ලක්ෂණ දැකීමෙහි දක්ෂ බව) ද යන දෙදෙන වෙත්.

ආපත්ති සූත්‍රය:—2 “ආපත්ති කුසලත්වය (ඇවැත් දැකීමෙහි දක්ෂ භාවය) ද ආපත්ති උට්ඨාන කුසලත්වය (ඇවතින් නැඟීමෙහි හෙවත් මිදීමෙහි දක්ෂකම) ද යන මේ දෙදෙන වෙත්.

(සතරවැනි වර්ගය නිමි)